Friday, October 7, 2016

මරණ දඬුවමෙන් අපරාධ මරා දැමිය හැකිද ?

හිමිදිරියේ සේයාවක් ව, හිමිදිරියේ ම මැකී ගිය සේයා....

සේයා..., නුඹ තවමත් පුංචිම පුංචි දැරිවියකි.  නුඹේ කටේ කිරි සුවඳවත් තවම ගිහින් නැතිවා ඇති.  මොන්ටිසෝරියේ දි යහළුවන් සමග නුඹ දුව පැන ඇවිදින්න ඇති; සෙල්ලම් කරන්න ඇති;සින්දු කියන්න ඇති; දඟ වැඩ කරන්න ඇති.  ග‍ෙදර දී අම්ම තාත්තත් එක්ක මොන්ටිසෝරි යාළුවන් ගැන, කරපු දේවල් ගැන ගිරවියක් ගැන ගිරවියක් වගේ දොඩවන්න ඇති.  ගෙදර දී කරපු දඟ වැඩවලට අම්මගෙන් බැණුම් අහන්න ඇති. නංගියා එක්ක රංඩු කරල ගුටි දෙක-තුනක් කන්නත් ඇති; ගුටි කාල පස්සේ අඬන්නත් ඇති.  තාත්තාට සියළු කේලම් කියන්න ඇති.  තාත්තාගේ ඇකයට පැන නුඹ හුරතල් වෙන්න ඇති.  තව දින කිහිපයකින් ලබන අවුරුදු පහක උපන්දිනේ ගැන ඇඟිලි ගනිමින් බලා ඉන්න ඇති.  නමුත්, නුඹත් නොසිතූ මොහොතක,  නුඹ සුන්දර යයි සිතූ  මේ ලෝකයෙන් යන්න වෙන්න ඇති. 

සේයා, නුඹේ අතුරුදන් වීමත් සමඟ නුඹ වෙනුවෙන් මගේ සිතට ආ සිතුවිලියි මේ.

බාගෙට නිම කරන ලද නිවාසයේ නිදා සිටි මේ සිඟිත්තිය පැහැර ගෙන යද්දී ඇය සමඟ නිදා සිට මවවත් ඒ බව නොදත්තා ය.  වෙලාව රාත්‍රී දොළහත් පසු වී ඇත.  ‘‘දුව ආච්චිලා ළඟට නිදාගන්න යන්න ඇති. වෙනදටත් යනවනේ ඉතින්...“ අම්මාත්, තාත්තාත් ළඟ නැති දුව ගැන එසේ සිතා සෑහීමට පත් වූවා ලු.  වෙනදාටත් එසේ වී ඇති අත්දැකීම් ඔවුන් ඒ ගැන කලබල කිරීමෙන් වැළක්වීය.  ඒ වෙලාවේ තම ආදරණීය මද්දුම දෝණිය කුරිරුතර කාමාතුරයෙකුගේ අතින් කෙලසී,  තැලී පොඩි වී යමින් අසරණ ව සිටින බව නොදැන ඔවුන් සුවසේ නිදන්න ඇති. 

නිදි දෙව් දුවට තුරුළු ව සිටි පුංචි සේයා, නිදි ඇඳෙන් ඔසවා ගෙන යද්දී ඇය සිතන්නට ඇති අම්මා නැත්නම් තාත්තා ඇය ව ඔසවා ගෙන යන බවක්... ඒත් අතරමඟ දි සිඟිති දැරිවිය ඇහැරෙන්න ඇති.  තමන් ව ඔසවා ගෙන යන්නේ තමන්ගේ ආදරණිය අම්මා හෝ තාත්තා නොවන බව දැනුනා ම ඇගේ පුංචි මොළොක්  සිතට කුමන දෙයක්නම් දැනෙන්නට ඇත්ද ?  ඇගේ පුංචි හදවත කොතරම් බියකින් වේගයෙන් ගැහෙන්නට ඇත්ද?  ඇය කෑ මොර දෙන්නට ඇති; සමහර විට අඬන්නත් ඇති.  ඒත් ඒ රෑ ජාමයේ, මේ ගම්මානයේ කෑලි කැපිය හැකි අඳුර මේ අසරණියගේ විලාපයේ හඬ ගිල ගන්නට ඇති.  ඒ වැනි අන්ධකාර බිහිසුනු රැයක දෙවිවරුත් සිහින දකිමින්, සුව සේ නිදන්නට  ඇති, ඒ අඳෝනා නොඇසෙන තරම් දුර ඈත දෙව්ලොවක.

මේ හැම දෙයින් ම  ඇති තරමට ඉඩහසර ලද ඒ කාමාතුරයා මේ සිඟිත්තියව කොහේ හෝ ඇද ගෙන ගොස් කෙලසන්නට ඇති.  මහා සමාජයක් විසින් නිර්මානය කළ ඒ අසහනය, හීනමානය මේ අසරණ සිඟිත්තිය යට කොට තලා දමන්නට ඇති.  දෙවියනේ...., ඇයට තවම අවුරුදු පහක්වත් ලබල නැහැ; ඉස්කෝලේ පළමු වසර කියන එකවත් ඇය හඳුනන්නේවත් නැහැ.  මේ පුංචි මල් කැකුලිය ඒ කාමාතුර යකඩ හස්තයට යට වි තැළී පොඩි වී යද්දී, ඒ ජඩ පිරිමිකමෙන් කෙලෙසෙන විට ඇය ගේ සිතේ කුමක් ඇඳෙන්නට ඇත්ද ?  ඇය කෑ ගසා අඬන්නට ඇති; විලාප දෙන්නට ඇති.  ගැළ වි යන්නට ඒ සිඟිති සිරුරේ මුළු වෙර යොදා දැඟලූවත් ඒ කාමාතුරයාගේ ග්‍රහනය ඉදිරියේ තැළී පොඩි වී යන්නට ඇති.  ඇගේ සියුමැලි අතකුත් ඒ හැදි දැඩි අතින් කඩා දැමෙන්නට ඇත්තේ ඒ වෙලාවේ වෙන්න ඇති...  දෙවියනේ, ඔබේ පිහිට ඉල්ලා කොතෙක් කෑමොර ගෑවත් හඬ ගා කියන්නට නොහැකි වු ඒ වේදනාව ඔබේ සිතින් හරි අත්විඳින්නට ඔබට හැකිද?  කඳුළින් තෙතබත් ව, වේදනාවෙන් ඇඹරී ගිය ඒ අසරණියගේ මුහුණ තිස් තුන් කෝටියක් අතරින් එකම එක දෙවි කෙනෙකුටවත් නොපෙනී ගියේ කාගේ වරදකින් ද ?

සැප්තැම්බර් 13 වෙනිදා........

ඊයේ දවසත් ගම්වාසින්ගේ ද උදව් ඇතිව සෝදිසි කළ පොලීසියට දැරිය සොයා ගන්නට නොහැකි වුණා ලු.  අද, සැප්තැම්බර් 13,    මේ ලෝකයේ මනුස්සකම් ගැන අන්තිම බලාපොරොත්තුවත් එක්ක ප්‍රාණය ඉවත් ව ගිය ඇගේ  සිඳ බිඳ දැමූ සිඟිති සිරුර, නිවසට මිටර් 300ක් එහායින් ඇළ මාර්ගයක් අසළ දී සොයා ගැනුනා.  ඇය අන්තිම වරට ඇඟ ලා සිටි පුංචි බැනියම් කඩින් ඇයගේ ගෙල සිර කර තිබුණා.   ඒ පුංචි සිඟිත්තියගේ ජිවිතය ගැන තිබුණු අන්තිම බලාපොරොත්තුවත් බොඳ වෙමින් නැගුන අඳෝනා රුපවාහිනියෙන් බලා සිටි අපේ උගුරු ද වියළී ගොස් හිර වී යනු දැණුනා.  

මම මෙය ලියමින් සිටින විට පශ්චාත් මරණ පරීක්ෂණයවත් අවසන් නැහැ.  මේ වන තුරුත් ඒ අපරාධකරුවා ද නිදැල්ලේ.  සමහර විට ඒ දුක බෙදාගනිමින් ඉන්නා ගම්වාසින් අතර ම ඔහුත් ඇති.  අපරාධකරුවන්ට දැඩි දඬුවම් ඉල්ලා සිටිමින්,  බල කරන පිරිස අතරත් එවැනි පිරිස් නැතැයි සහතික විය හැක්කේ කෙසේද ?

‘‘මුන් වගේ උන්ට දෙන්න ඕන මරණ දඬුවමම තමයි“

“මුංව ප්‍රසිද්ධියේ එල්ලා මරන්න ඕන“

“මුංට ගල් ගහල මරන්න ඕන“

“ අර සෞදි අරාබියේ තියෙන දඬුවම් මේ රටටත් ගේන්න ඕන“ 

හතර වටින් මිනිස්සුන්ගේ කෝපය, වෛරය පිටාර ගලයි; මටත් එලෙසින් දැනෙයි. මෙවැනි අපරාධකරුවන්ට ලිහිලක් දීම යනු එවැනි අපරාධවලට ලිහිලක් දීම ම නොවේද ?   අපරාධකාරී දඩයම් බිමකට මේ වැනි තවත් අහිංසකයන් විවෘතව පාවා දීමක් නොවන්නේ ද ?  ඒ මගේ හදවතේ එක පැත්තකි.  මගේ හදවතේ අනෙක් පැත්තෙන් ඇසෙන්නේ දැඩි දඬුවම් මේ කෘෘරත්වයට වැටක් බදී ද යන්නයි.  ඒවා ක්‍රියාත්මක වෙනවා රටවල මේ වැනි අපරාධ නතර වි ඇත්ද ? නැත්නම් එවැන්නක ඇති ඵලය කුමක්ද ? 

මගේ අධ්‍යාපනය, මගේ ආගම ආදි කිසිවකින් විපිළිසර මගේ හදවතට පිළිතුරක් නැත.  මේ, මේ වර්ගයේ පළමු අපරාධය නොවෙයි; නිසැකව ම අවසානය ද නොවෙයි.  දිගින් දිගට ම මේවා සිදු වෙමින් යාවි.  මේ අපරාධ බල බලා මිනිස්සුත් හැමදාම හුල්ලාවි; අපරාධකාරයන්ට ශාප කරාවි; එල්ලුම් ගහ ගේන්න කියාවි.  ඔබත්, මාත් අපේ සුපුරුදු වැඩවලට යාවි.  තව තව සිදුවිම් අතර ආයෙත් මේවා අමතක වෙලා යාවි.  මේ විදියට මේවාත් සාමාන්‍යකරණය වෙලා යාවි.  

ආදරණිය සේයා....., ළහිරු රැස් පතිත වෙන ඒ හිමිදිරියේ සුරතල්, සුන්දර සේයාවක් ම වු නුඹ, මහදවල් ගනදුරක සැඟ වී ගොසිනි.  නැත; නුඹ ද, මා ද අයත් වන මේ සමාජයේ කුරිරුකම තුළ සඟවාලනු ලැබ ඇත.  උන් නුඹ ගිලගත්තේ ය.  තවමත් ජිවත් ව‍ෙන්න පෙරුම් පුරන සේයලා අපි අතර සිටිති; නුපන් සේයලා ද එසේ ම ය.  ඔවුන්ට ද සේයාවක් සේ මැකි යන්නට ඉඩ හැර මේ ගනඳුර සුරකිමු ද? ගනඳුර දුරු කරන්නට හැක්කේ කෙසේද? අපට ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද ?