Friday, October 7, 2016

මගේ ප්‍රයිමරි ගුරුවරු සෙට් එක සහ තවත් අය

           

චූටි කාලේ ඉඳලම අපි ගොඩාක් මුණ ගැහුණ, ජීවිතයට ගොඩක් සම්බන්ධ, ගොඩක් බලපෑම් කරපු පිරිසක් නේ ගුරුවරු කියන්නේ.  මගේ ජීවිතයට වගේ ම ඔයාලගේ ජීවිතවලටත් මේ ගුරුවරු සෙට් එකෙන් ලොකු බලපෑමක් වෙන්න ඇති නේද ?  කැමතිම ගුරුවරු වගේ ම පෙන්නන්න බැරි අකමැති ම ගුරුවරු සෙට් එකකුත් ඇති නේ ඔය කාගේ කාගේත් ජිවිතවලට හම්බ වෙලා....අනේ මන්දා......ගුරුවරු මාරයි ; ශ්‍රේෂ්ටයි කීවට මගේ ජීවිතයටනම් මට හමු වෙලා තියෙන ගුරු සෙට් එකෙන් බහුතරයක්ම මාර අප්සෙට් කට්ටියක්.  මමනම්, අවුරුදු දහතුනටම ආශාවෙන් ස්කූල් ගියේ අන්තිම අවුරුදු දෙකේ තමයි.  මොකද, එතකොට ගුරුවරුත් අඩුයි; විෂයනුත් අඩුයි; යාළුවොනම් වැඩියි.  ප්‍රධනම එක තමයි දෙයියනේ කියලා අවසාන අවුරුද්දේ හොඳ ගුරුවරු සෙට් එකක් ලැබුණා.  ඒ ලෙවල්වල හොඳම පැමිණීමකුත් මට තිබුණා.  අනිත් හැම අවුරුද්දෙම සතියට දවස් දෙක-තුනක්ම කට් කරලා හොඳ වාර්තාවක් මම තියලා තිබ්බා, කාටවත් සෙකන්ඩ් නොවෙන්න ! 
හරි ; කොහොම හරි අපේ ස්කූල් එකේ ලොකු ටිචර්ස්ලා සෙට් එකක් හිටියා.  එක වසර පංතිය ගැනත් මට යන්තමට වගේ මතකයි.  පංති භාර ටිචර් ගැන කියනවානම්, එයා මාර හොඳ වගේ දැණුනා අපි පංතියට ආ මුල් දවසේ.  හරි ආදරෙන් තමයි කතා කරලා අපිව පිළිගත්තේ.  ඒත් ටික දවසත් එහෙම යන කොට එයා ළමයින්ටත් වඩා ළමයින්ගේ දෙමාපියන්ට ගොඩාක් ආදරෙයි කියලා දැණෙන්න ගත්තා.  ළමයින්ගේ අම්මටයි, තාත්තටයි ගොඩාාාක් සල්ලි තියෙනවනම්, එයා ඒ ළමයටත් ගොඩාාාාක් ආදරෙයි...! අම්මෝ ඉතින් ඒ තෝරා බේරා ගන්න ළමයින්ව හරියට හුරතල් කෙරුවා.  එයාගේ හුරතලේ සීමාවක් නෑ.  අපි වගේ අසරණයින්ට ඉතින් හුළං තමයි !
අපේ දෙක වසරේ ටීචර්ගේ විශේෂත්වය තමයි, ඇඳුම්-පැළඳුම් ලස්සනට-සුදට -පිරිසුදුවට තියෙන ළමයින්ට එයා හරි ආදරෙයි.  හොඳ සැළකිල්ලක් දක්වනවා.  අපි පුංචි වුණත් ඒක හොඳටම තේරුණා. 
තුන වසරේ ටිචර්ව මතක් වෙන කොටත්, හුස්ම හිරවෙනවා.  එයාගේ නපුරු මූණ මකත් වෙන කොටත්, බය හිතෙනවා.  එයා හිතන්නේ ළමයින්ට අල්ලගෙන හොඳටම තැළුවාම ළමයින්ගේ බුද්ධිය පහළ වෙනවා කියලා. 
හතර වසර කෙනානම් හරි හොඳයි.  ඇත්තටම එයා ළමයින්ට ආදරෙයි.  ඒත් එයා හරිම අපිරිසිදුයි; අපිළිවෙලයි.  ඒකයි එයාගේ ලොකුම අඩුපාඩුව.
පහ වසර කෙනානම් සම්පූර්ණයෙන් ම පංතිය කොටස් දෙකකට බෙදල තිබුණේ.  එයා හැම තිස්සෙම උගන්වන්නේ දක්ෂයන්ට ම විතරයි.  අනෙක් කොටස ගැන එහෙමම අමතක වෙලා එයාට.  ඒ මදිවට ළමයින්ව හරියට කොන් කළා.  සමහර සිද්ධි ගැන මතක් වෙන කොටත් දුකයි. 
ප්‍රයිමරියෙන් එහාටත් ලොකු වෙනසක් වුණේ නෑ. 
අපේ හය වසර පංති භාර ටීචර්නම් මගේ නමවත් දැන ගෙන හිටියේ නෑ.  මං වගේ ළමයෙක් ඉන්නව කියලවත් එයා දැන ගෙන හිටියේ නැහැ, මට දැනිච්ච විදියටනම්.

ඔය වගේ එතැනින් එහාට ලැබුනු ගුරුවරුත් තනිකර පක්ෂපාතීත්වය, පිළිවෙල, ආර්ථික මට්ටම්, පෞද්ගලික හිතවත්කම්, අඳුම්-පැළඳුම්, දක්ෂ-අදක්ෂබව මත තමයි ළමයින්ට ආදරේ වෙන්න, උගන්වන්න තෝරගන්නේ.  හොඳ ගුරුවරු ඇති.  ඒ අතරිනුත් සමහරු ඒ කාලේ එහෙම තෝරගත්ත ළමයින් විසින් ප්‍රතිඋපකාරයක් හැටියට හොඳයි කියලා තෝරගත්ත අයත් ඇති.  මගේ පාසල් ජීවිතයෙන්නම් හොඳයි කියල දහයක් තෝරගන්න හරි අමාරුයි ගුරුවරු.  ඒත් දාන-පිංකම්, සිල් සමාදන්, බෝධි පූජාවලින්නම් අඩුවක් නෑ.  ඒත් ශිෂ්‍යයෙක් තේරුම් අරගෙන උගන්වන්න තරම්නම් මොළයක් නැති පිරිසක් තමයි බහුතරයක් ගුරුවරු.  ඒත් තව දෙයක් ති‍යෙනවා; අතේ ඇඟිලි ඔක්කොම එක සමාන නෑ වගේ මේක සියළුම ගුරුවරුන්ට පොදු කාරණයක් නොවෙයි.  ඒත්, ඔයාලත් ටිකක් හිතල බලන්නකෝ.....             

No comments:

Post a Comment