Friday, October 7, 2016

මට හමු වුන දුයිෂෙන් (දෙවෙනි කොටස)


ඔහු පාසලට ආවේ බස්රථයෙන්.  පොඩි කාලේ ඉඳල ම අපේ ගුරුවරු ඉස්කෝලෙට ඇතුල් වෙන්නේ තමන් ගේ බෑග් හා අනෙක් බඩු-මූට්ටු Staff Room එකට නැත්නම් පංතියට උස්සන් ගිහින් තියන්න ශිෂ්‍යයන්ට භාර කරමින්.  පස්සේ පස්සේ අපි මේ වැඩේ ට හොඳට ම හුරු වුණා.  ගුරුවරු කියන්නත් කළින් ම ඔවුන් ගේ බෑග් අපේ අතට ගන්නේ , නැත්නම් පස්සේ හොඳ බැණුමක් අහන්න වෙන බව අත්දැකීමෙන් දන්න නිසයි.  ඒත් අපේ Political සර් කවදාවත් ඔහුගේ බෑග්, පොත්-පත් උස්සන් යන්න ළමයින් ට දුන්නේ නැහැ.  ඒ වෙනුවට ඔහු ඉස්කෝලෙට ඇතුල් වුණ තැන ඉඳළ ම කළේ කට පුරා ම හිනා වී Good Morning කීමයි.  දකින හැම ශිෂ්‍යෙයකුට ම ගුරුවරයෙකුට ම, පාසලේ කාර්යාලයේ වැඩ කරන කාර්ය මණ්ඩලයට,අතු ගාන ඇන්ටිට පවා සුභ පතමින් ආ ඔහු ට කිසි ම දිනෙක, කිසි ම උස්-පහත් භේදයක් තිබුනේ නැහැ.  පරණ දිසාපාමොක් චර්යාවන් සියල්ල ම බිඳ දමමින්, අපි සුබපතන්නටත් පෙර ම ඔහු අපි ට “Good Morning පුතේ යයි සුභපැතුවා.
“ඇත්තටම මාර හොඳයි බන් සර්.  මාර නිහතමානී චරිතයක් වගේ ඒ වචන අපේ හදවත පත්ළෙන් ම ඔහු වෙනුවෙන් පැන නැගී ආවා. 
සටහනට සීමා නොවුණ ඔහු දිනෙන් දින අපි ව ප්‍රාෙයා්ගිකයන් කරන්නට සැම විට ම වෙර දැරුවා.  ඒ සඳහා ඔහුගේ ඉගැන්වීම් රටාව මෙහෙයවූවා.  අපේ අධ්‍යාපනය ගැන විතරක් නොවෙයි, අපේ මුළු ජීවිතය ගැන ම ඔහු සොයා බැලුවා.  සුදු ගවුමින් වැසුනු අපේ ජීවිතවල අඳුරු පැතිකඩයන් ගැන ඔහු සොයා බැලුවා.  අපේ ජීවිතවල ගැඹුරට ම එබී බැලුවත් කවදාවත් පෞද්ගලිකත්වයට ඔහු ඇඟිලි ගැසුවේ නැහැ. 
දින-සති-මාස ගෙවෙන කොට අපේ ගුරුවරයා අපට නැතිව ම බැරි සම්පතක් වුණා. අපි හැමෝගෙ ම ජීවිතයේ සුපිරි වීරයා බව ට ඔහු පත් වුණා.  සම්ප්‍රදායයන් කණපිට පෙරලන්න හැමදාමත් ඔහු කළ කථාවන්ට අපි උඩු සිතෙන් අකමැති වුණත්, යටි සිතෙන් ආශා කළා.  ඔහුගේ කෙස් පැළෙන තර්කයන් ට අපි වශි වුණා.  අපි ඔහු ට පුදුමාකාර විදියට ආදරය කරන්නට පටන් ගෙන තිබුණා.  නැහැ; ගුරුවරුන් ව එපා ම වී, හෙම්බත් වි සිටි අපෙන් ආදරය සොරා ගත්තේ ඔහු ම යි.  කවදාවත් ගුරුවරයෙකුට නොකියන අතිශය පුද්ගලික ප්‍රශ්න පවා, පවුලේ දුක් ගින්දර හා බඩගින්න පවා අපි අපේ සර් එක්ක බෙදාගත්තා.  අපේ ප්‍රශ්නවලට ඔහු අවංකව ම මැදිහත් වුණා.  පාසලේ දි විසඳ ගන්න බැරි වුණ ප්‍රශ්ණ ඔහු ළමුන්ගේ ගෙවල්වලට ම ගොස් පුද්ගලිකව ම විසඳා දීමට කටයුතු කළා.  අසනීපයක දි හෝ පාසල් එන්නට බැරි වූ විට, විගසින් ම දුරකථන ඇමතුමකින් විමසන්නේ අපේ ආදරණීය ගුරුවරයා ය.  අපි කාගේ ත් ආදරණීය ම පියා බව ට අපේ මේ ගුරුවරයා පත් වුණා.  කල් යන කොට අපට සර් ව නැතිව ම බැරි වුණා.  අපි ඉස්කොලේ ගිය විගස ම, ඉහළ මාලයේ තිබූ අපේ පංති කාමරයේ බෑග් තියා පහළට දුව එන්නේ අපේ ආදරණීය ගුරුවරයා දකින ආසාවෙන්.  ඉස්කෝලේ ගේට්ටුවෙන් සර් ගේ රුව දුටු ගමන් ම අපි ටක් ගාලා ඒ දිහාට දිව යන්නේ සර් ට Good Morning කියන පළමුවැන්නා වෙන්නයි. එක දවසක් හරි සර් ඉස්කෝලෙ ආපු නැති දවස ට ඒ දවස ම අපිට ඉලව් ගෙයක් වගේ වුණා.  එහෙම දවස් ගෙවී යන්නේ ඔරලෝසුවට ඕනෑ  හැටියට ය.  ඒ දවසට අපි කඩිනමින් එළියට පැන ගන්නේ, පාරේ තියෙන 4n Box එකකින් හරි සර් ට කෝල් කරන බලාපොරොත්තුවෙන්. 
කලෙකට ඉහත දී සිංහල ගුරුවරයා ගේ රුවට පමණක් ආදරය කරපු අපි, මුළු හදවතින් ම අපේ දේශපාලන විද්‍යා ගුරුවරයාට මේ වෙද්දී ආදරය කළා. අපේ සිත් තුළ සුපිරිතම ගුරුවරයා වීම ට අපේ දසුන් සර් ට හැකි වුණා. 
ජාතීන් අතර අසමානතාවයෙන් බේදබින්න වී, අසහනය රජයන සමාජයක සියළු ම ජාතීන් ගේ සමානාත්මකාවය ගැන ඔහු කතා කළා.  ස්ත්‍රීන් ව පුරුෂයා ගේ ආධිපත්‍යෙයන් යට කර ගෙන ඉන්න සමාජයක ස්ත්‍රියගේ සම අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු නියම මනුෂ්‍යයෙකු හැටියට කතා කළා.  සියළු ම ආගම් වලට සමානාත්මතාවයෙන් ඔහු ගරු කළා.  හැම විදියක ම සමානාත්මතාවය ගැන ඔහු පෙනි හිටියා.
අපේ දෑස්වල තිබූ කඩතුරා අයින් කර,අළුත් ඇසකින් සමාජය දෙස බලන්න ට පුරුදු කළේ ඔහු.  මොට වෙච්ච,යාන්ත්‍රික හිත් හදපු ඉස්කෝලේ අළුත් කළේ ඔහු.  දිසාපාමොක් සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කළ ඔහු, අපි ඔහු ගේ ගෝලයන් වීම ඉවසුවේ නැහැ; ඔහු ට අවශ්‍ය වුණේ අභියෝග කරන ශිෂ්‍යෙයක්; කශේරුකා ව කෙළින් තියා ගන්න පුළුවන් ස්වාධීන චරිතයක්.
ඉතින් මේ තත්වය යටතේ ඔහු ට ළං නො වී ඉන්නේ කවුද ?  අපි ඔහු ගේ හුස්මට පවා පෙම් කළා: ඔහු ගේ කට හඬ ට පවා අපි ආශා කළා.  මේ ලෙන්ගතුකම දරා ගන්න බැරි වුණ පිරිසකුත් හිටියා. ඒ  පිරිස අතරේ විදුහල්පතිනියයි, තවත් ගුරුවරුයි අපි ට දොස් කීවා නොසෑහෙන්න.  'ළමයින් ගැන තදින් ඉන්නට අසමත්' යයි කියමින් අපේ සර් ව පංති භාරකාරත්වයෙන් ඉවත් කරන්න ට පවා ඔවුන් ක්‍රියා කළා.  සම්ප්‍රදායිකත්වයේ, සදාචාරයේ රෙද්දෙන් පටු- මන්දමානසිකත්වයේ හෙළුව වසා ගෙන සිටි ඔවුන් මේ ගැඹුරු ලෙංගතුකම ට බය වුණා.  පංති භාරකාරත්වනේ අපේ සර් ව අයින් කරන බව දැන ගන්නට ලැබුණා ම එදා දැනුන හුස්ම හිර කරවන තරම් වේදනාකාරී බව අදටත් අමතක වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ පිරිසට පිංසිද්ධ වෙන්න , එයාලගේ මන්ද මානසික වැට කඩොලු-සීමා-මායිම්-වාරණ-තහංචි නිසා අපේ සමීපත්වය තව තවත් දැඩි වුණා. 

පාසල් කාලය නිමා වුනා.  කාලය ගෙවි ගියා.  මගේ බොහෝ යෙහෙළියන් ඔහුගෙන් ද ඈත් වී ගිහින්.  ඒත්, තවමත් අපි අතර සමීපත්වය දුරස් වි නැහැ. ඒ වෙනුවට දැනෙන්නේ දවසින් දවස ඒ සමීපත්වයන් දැඩි වෙමින් යන බව යි. නිමක් නැති ඒ ආදරය, සප්ත මහා සාගරය තරම් ගැඹුරු යි; සුවිසල්.  ඔහු, මගේ ජිවිතයේ මට හමු වු හොඳ ම ගුරුවරයා පමණක් නොවේ; මා දැන හඳුනා ගත් උත්තරීතර ම මනුෂ්‍යයා ද ඔහු ම වේ.  මා ආදරය උගත්තේ ඔහුගෙනි.  කැපවිම යනු කුමක්දැයි කියා දුන්නේ ඔහු ය. මට කතා කරන්නට කෙනෙක් අවශ්‍ය වන ඕනෑ ම නිමේෂයක දුරකථනයෙන් හෝ ඔහු මා අසල ය.  කිසිඳු අත්වැලක් නොතිබූ මගේ දුප්පත් ජීවිතය ට අත්වැල වූයේ ඔහු ය.  ගුරු ගීතයේ මා හඳුනා ගත් ගුරුවරයා ඔහු ය. ඔහු හැමදාමත් මගේ දුයිෂෙන් වෙයි; මම ඔහු ගේ අල්තිනායි නොවුණත්.                                                               

No comments:

Post a Comment