Friday, October 7, 2016

එකෝමත් එක පංතියක කතාවක්

ඉස්කෝලේ කාලේ යාළුකම් හරිම සුන්දර අත්දැකීමක් වෙන්න ඇති ඔයාලටත්.
පුංචි කාලේ ඉඳලා මාත් එක්කත් එකට හිටපු යහළුවෝ පස්දෙනෙක් හිටියා.  සිංදු කිව්වේ, කෑවේ-බිව්වේ, රණ්ඩු වුණේ,  සෙල්ලම් කළේ එකට.  මොන දේ කළත් එකට ඉන්න තරම් ලොකු fit එකක් තිබුණා.  තරහ වුණත් සැණෙකින් වැරදි වටහා ගෙන ආයෙත් හිටියටත් වඩා හොඳින් ඉන්න පුළුවන් මාර යාළුකමක් තිබුණා.  ටික ටික ලොකු වෙද්දී පංති කැඩුණා.  අපි එකිනෙකා අළුත් අළුත් පංතිවලට වැටුණා.  සමිපකමේ පොඩි දුරස්ථභාවයක් තිබුණට යාළුකම එහෙමම තිබුණා.  අපි හිනා වුණා; විහිළු කළා; පංති ගියා එකට.  හරිම ලෙංගතුයි.  අපි තවත් ලොකු වුණා .  එකිනෙකාගෙන් තීරණාත්මක ලෙස වෙන් ‍වෙන්න අපිට සිදු වුණා.  A/Lවලින් පස්සේ අපි තව තවත් දුරස් වුණා.  msgsCalls ටික ටික අඩු වුණා.  අපි කට්ටියටම එහෙම වුණා.  අපි පාසල් සමයේ මවන් හිටපු සුරංගනා ලෝක නැති වෙලා අපිට ඇත්ත ලෝකය මුණ ගැහුණා.  දෙමව්පියන්ගෙන් යැපෙන්න පුරුදු වුන අපිට ජීවන බර දැනෙන්න ගත්තා. ඒක නිසාම රස්සාවල් කරන්න වුණා.  ලොකු වුණා ම මෙහෙම කෙනෙක් වෙනවා, අරහෙම කෙනෙක් වෙනවා කියලා අපි දැකපු හීන අපි කථා වුණා. දැන් අපි ඇත්තටම ලොකු වෙලා.  ඇත්ත ලෝකය, අපේ සුරංගනා ලෝකවලට ඉඩ දුන්නේ නෑ, ගොඩාක් වෙලාවට.  අපි බලාපොරොත්තු වුණේ එකක්; අපිට කරන්න වුණේ තව එකක්.  අපේ යාළුවෝ කට්ටිය එතකොටත් පාරතොටේ, බස් හෝල්ට් එකේ, බස් එකේ ඉඳහිට හරි හමු වුණා.  ඒත් අපි හිනා වුණා; කථා කරා. 
තවත් කල් ගත වුණා.  මට රජයේ සේවයේ අතවැසියෙක් වෙන්න වුණා.  මාත් එක්ක හිටපු තවත් යාළුවෙකුත් ඒ රස්සාවටම පැන ගත්තා.  අපේ යාළුවෝ සෙට් එකේ එක්කෙනෙකුට තාත්තා job කරන්න දෙන්නේ නෑ ලු; ඉතින් එයා ගෙදරට වෙලා ඔහේ කල්මරමින් ඉන්නවා.  තව කෙනෙක් එක එක පොඩි පොඩි රස්සාවල් කරමින් ඉන්නවා.  අපි අතරින් එකම එක්කෙනෙකුට විතරක් එයාගේ සිහිනය රස්සාවක් විදියට හමු වුණා.  එයා කැමති වුණේ Air Hostess කෙනෙක් වෙන්න.  එයාගේ ඇඟත් ඒකට හොඳට ගැලපුණා.  ඉතින් අපි අපේ සිහිනවලට තවමත් ට්‍රයි කරද්දී එයාට එයාගේ සිහිණය සැබෑ කරගන්න පුළුවන් වුණා.  ඉතින් එයා Air Hostess කෙනෙක් වුණා කීවම මටත් ලොකු සතුටක් දැණුනා.  ඒත් එයාට විෂ් කරන්නවත් මට බැරි වුණා.  මේ සුබ ආරංචිය එයා ම  කීවානම් මම ඒ වෙලේ ම විෂ් කරනවා අනිවාර්යයෙන්; මට ඒක කරන්න ඕනකම තිබුණා. මේ හිත හදා ගන්න කියනවා නොවෙයි; මට එයාගෙන් ම නැතිව වෙන වෙන අයගෙන් මේ ආරංචිය ආවාම විෂ් කරන්න ඕන කියල හිතලා, වැඩේ කල්යනවා. මතක් වෙන වෙලාවේ මොනවා හරි අඩුවක්. මගෙත් වැරැද්ද තමයි.  කොහොම හරි ඉතින් ඒකත් කරගන්න බැරි වෙලා ගියා. 
මේ ළඟදී දවසක එයාගේ තාත්තා accident එකකින් නැති වුණා.  මාත් එක්ක වැඩ කරන අනිත් යාළුවා මට ඒ ආරංචිය ගෙනාවේ.  ඒ තාත්තාව මම දන්නෙවත් නෑ. ඒත් ඒ අපේ පරණ හොඳම යාළුවෝ සෙට් එකේ එක්කෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ඉතින් පහුවෙනිදා මම අම්මත් එක්ක ගියා මළගෙදරට.  ඇත්තටම ඒ මගේ යාළුවා වෙනුවෙන්මයි.  අවුරුදු ගණනකට පස්සේ මම මගේ යාළුවා දැක්කේ.  එයා ගොඩක් සුදු වෙලා; ලස්සන වෙලා.  ඒ වෙලාවේ මට ලොකු සතුටක් දැණුනා. මට ඕන වුණා කතා කරන්න.  ඒත් එයා අපිව දැකලා එන්නං කියා ගෙන එතනින් ගියා.  ඒ අතරෙම එයාගේ ඔෆීස් එකේ කියන්න පුළුවන් තව කට්ටියක් ආවා.  එයා ගියේ ඒ අය ළඟට.  මම අම්මත් එක්ක එහා පැත්තට වෙලා ඉඳ ගෙන බලා හිටියා.  එක වචනයක්වත් කතා කරන්න මගේ යාළුවා මම ළඟටත් ඒවිද කොයි වෙලාවේ හරි...?  ඇයි දෙයියනේ අපි ආවේ එයා වෙනුවෙන් කියලා එයාට තේරෙන්නේ නැද්ද ?  නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැද්ද ?  නැත්නම් වෙන මොකක් හරි තරහක්වත්ද ?  පස්සේ මට තේරුණේ එයාගේ අළුත් ofc යාළුවෝ ඉන්දැද්දී අපි එක්ක කතා කරන එක එයාට මදිකමක් වගේ දැනෙන්ත් ඇති කියලා.  එකිනෙකා හඳුන්වා දෙන වෙලාවකදීවත්, එයාට මාව මතක් වුණේ ම නෑ.  මාව විතරක් නොවෙයි; ඒ වෙද්දීත් බඩ බැඳ ගෙන වගේ මළගෙදර පදිංචි වෙලා හිටපු මගේ අනිත් යාළුවාවත්.....  මේ අර අල්ලන සෙල්ලම් කරපු මගේ යාළුවාමද ? Teachersලට හොරෙන් දිවුල් අච්චාරු කාපු යාළුවාමද ?  ගණන් ඉගෙන ගන්න එකට පංති ගිය යාළුවාමද ?  මට අදහා ගන්න බෑ.  මට දුකකුත් දැණුනා; ලැජ්ජත් හිතුනා.  අම්මට මොනවා කියන්නද ?  අපි නැගිට්ටා.  එයා ළඟට ගියා. අපි යනවා කීවා.  අම්මත් කීවා  යන්නම් දුව කියලා. “Thnkz Aunty” එච්චරමයි එයා කීවේ; ඒකත් අම්මට විතරයි. 
මට ගොඩාක් දුකයි.  ඒත් එයා ඒ විදියට වෙනස් වෙලා කියලා හිතන්න ඊටත් වඩා දුකයි. නෑ; ඒක එහෙම වෙන්න බෑ.  මගේ හිත සංරක්ෂණ ප්‍රයෝග හොයා ගෙන ගියා. එයාට තාත්තාගේ මරණය නිසා ගොඩක් දුක ඇති.  ඒ නිසා කතා කරගන්න බැරිව ඇති.  ඒත්, එතකොට අනිත් අයත් එක්ක කතා කළේ ?  මොළේ, හිතට යුද්ධ ප්‍රකාශ කරනවා.  මට උත්තර නෑ.  අවසන් කටයුතු දවසේ යම්දෝ- නොයම්දෝ කියලා හිත හිතා ඉන්න කොට තවත් යාළුවෙක් තනියම යන්න බෑ කිය කියා වැළපුනා. ඒත් මට ඒ තරම් හිතක් නෑ යන්න. අන්තිමට එයා එහෙම වෙනස් වෙලා නෑ කියලා හිත මට ඒත්තු ගන්වන්න try කරද්දී මම එකඟ වුණා, එයත් එක්ක අවසන් දවසෙත් යන්න.
ඔන්න ඉතින් අන්තිමට මම ගියා.  ඒ වැඩ ටික ඉවර වුණාට පස්සේ මම ගෙදරටත් ගියා.  ඒ, එයා එක්ක කතා කරන්න ඕන නිසා වචන කීපයක්වත්.  මම ගියා එයා ළඟට.  එයා යද්දී, මම එයාගේ අතින් අල්ලලා කතා කළා.  අත අහකට අරගෙන යන්නම් කියා ගෙන එයා එදත් තරප්පු පෙළ නැඟල අළුත් යාළුවන් අතරට ගියා.  මට දැණුනේ මම ළඟ හෙනයක් පිපිරුවා වගේ.
ඔව්; එයා වෙනස් වෙලා. එයාගේ මුහුණ, ඇඳුම්-පැළඳුම් විතරක් නොවෙයි; එයා හිතන-පතන විදියත් ගොඩාක් වෙනස් වෙලා.  ඉස්කෝලේ කාලේ අපි හිටියේ එකම පංතියක තමයි. ඒත් දැන් අපි වෙනස් පංතිවල. මම ඉස්සරහ පුපුරපු හෙනයේ එළියෙන් මට මේ දේවල් පේන්න ගත්තා.

No comments:

Post a Comment