Sunday, October 16, 2016

සමහරුන්ට අනුව වැරැද්ද ‘මනුස්සකම‘ ලූ !

සිකුරාදාවේ මා කාර්යාලයේ රැඳී සිටිනුයේ උදේ වරුව පමණි.  මගේ කාර්යාලයීය යෙහෙළිය වැඩ ආරම්භ කරනුයේ හවස් වරුවේ ය. ඇය විසින් විස්තර කෙරෙන මෙකී සිදුවීමට ඇය ට මුහුණ පාන්න ට වුයේ එවැනි සිකුරාදාවක ය.  එවැනි ‘සිකුරාදා’ වල් අප ඕනෑ ම අයෙකුට ඕනෑ ම දවසක එළැඹිය හැකි බැවින් මේ අත්දැකීම බෙදාගන්නට මම සිතුවෙමි.       

එදින ඈ වැඩ කරන අංශය වෙත පැමිණෙන විට ඒ මොහොතේ එහි සිට ඇත්තේ වයස අවුරුදු හතලිස් නවයක් පමණ වන මැදි වයස් නිලධාරියකු පමණි.  බොහෝ පිරිමින් සාමාන්‍යෙයන් රහසින් දක්වන හැසිරීම්, එළිපිටම දක්වන්නට ගොසින් ප්‍රසිද්ධියක් අත් කර ගත් මේ පුද්ගලයා මෙයට පෙර අවස්ථා ගණනාවක දී මගේ මිතුරියගෙන් බැණුම් අසා ගත් අයෙකි. එහෙත් ඔහුගේ චර්යා රටාවේ වෙනසක් තවමත් දක්නට නැති හැඩකි.  මගේ මිතුරිය ද ඇයගේ සැකයට හේතු වන බැල්මකින් පමණකුදු වහා කෝපයට පත් වන්නා වූ, නිරන්තරනේ ම පිරිමින් දෙස සැකයෙන් යුතුව බලන චරිතයකි.  ආයතනයේ උසස් ම නිලධාරියකු නොවූවද, අනෙක් පුද්ගලයා ඇයට වඩා ඉහළ තනතුරක් දරයි.  
සිද්ධිය කෙටියෙන් මෙසේ ය; වැඩ කරන අංශයට පැමිණි ඇය, වැඩ ආරම්භ කරන්නට සැරසෙද්දී, ඉහත කී නිලධාරියා ඔහුගේ ජංගම දුරකථනයේ වූ කැමරාවෙන් අයගේ ඡායාරූපයක් ගන්නට යන බව ඇය දුටුවා ය. වහා ම මේ ගැන විරෝධය පළ කළ නමුත් ඔහු එය නතර කරන බවක් නොපෙනුනි.  වහා ම ක්‍රියාත්මක වූ මගේ මිතුරිය ඒ අවස්ථාවේ ම අංශ ප්‍රධානියා වෙත ගොස් මේ බව දැණුම් දුන්නා ය.  තමන් ට සිදු වු කරදරය ලිඛිත ව දැනුම් දෙන ලෙස ඔහුගෙන් උපදෙස් ලැබුණි. ඒ අනූව ඇය ඒ බව ලියා දුන්නා ය.  දැන් මේ සම්බන්ධ ව විනය පරීක්ෂණයකට මුහුණ දීමට ඉහත කී නිලධාරියාට සිදු වී ඇත.  
මේ ගැන ඇය සමඟ දැඩි ලෙස උරණ වී ඇති මෙ කී නිලධාරියා එම පරීක්ෂණය ඉල්ලා අස් කරවා ගැනීම සඳහා බලපෑම් කරවීමට දැන් දහ අතේ උත්සාහ කරයි.  ඒ සම්බන්ධයෙන් ඔහු මගෙන් ද උදව් ඉල්ලී ය. එහෙත් අදාල පරීක්ෂණයේ දී මිස මා වෙත ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න ට තැත් කිරීමෙන් පලක් නැති බව පෙන්වා දෙමින් මට එය ප්‍රතික්ෂේප කරන්නට සිදු විය. 
මට හැඟෙන්නේ නිශ්චිත සිද්ධියට වඩා වැදගත් වන්නේ ඒ වටා ගොඩනැගෙමින් පවතින සිද්ධි සමුදාය බවයි.  දැන් ඉහත නිලධාරියා සිය නිර්දෝෂීභාවය තහවුරු කරගන්නට හැබෑ පරීක්ෂණයෙන් පිටත හැම ආකාරයකින් ම බලමුළු ගන්වමින් කාර්යාලය පුරා සැරිසරයි.  දැන් ඔහුගේ ප්‍රධාන රාජකාරිය වී ඇත්තේ එයයි.  ඉතින් මිතුරන් හමු වන ඔහු මෙසේ පවසයි.
“මචං, එදා මම ඉන්න කොට, මේකි මේ කොණ්ඩේ හද හද හිටියා.  ඉතින් මම විහිළුවට 4n එක පෙන්වලා, ඒකිට කිව්වා, දැන්නම් ලස්සනයි;කෝ බලන්න 4to එකක් ගන්න කියලා, විහිළුවට4n එක පෙන්නුවා.  මේකි මේ හොඳට බය වෙලා ඒක ලොක්කට කිව්වා.  මේකිට හොඳටම පිස්සු !”
කාර්යාලයේ බොහෝ කාන්තාවන් නිහඬ ය.  ඔවුන් ට ඒ හෝ මේ පැත්ත නොගෙන සිටීම වඩාත් හොඳ යයි සිතුනා සේ ය.  ඔවුන්ගේ අදහස එසේ  නැත්නම් තමනුත් මේවායේ ගොදුරක් වන බව ය !
බොහෝ පිරිමින් දක්වන්නේ, ඒඅතරින් එකෙකුගේ ශ්‍රී මුඛයෙන් පිටට පැන්න මේ අදහස ම ය.
“උඹට හොඳ වැඩේ. උඹ මහා බූරුවෙක්;පිස්සෙක්;උඹට හැම තිස්සෙ ම කියනවා උඹගේ තත්වෙට ගැලපෙන එවුන් ව විතරක් ආශ්‍රය කරපං කියලා. මේ කොහෙවත් නැති එවුන් ව උඹ, උඹේ කරට ගන්නවා.  බලපං; උඹේ තනතුර මොකක්ද ? උන්ගේ තනතුර මොකක්ද ? උඹට ගැලපෙනවද මුන් වගේ උන් ව ආශ්‍රය කරන්න? මුං ව හරි විදියට මේ ofc අස්සේ තියාගන්නත් සුදුසු නැහැ”
මේ කතාවෙන්, මේ අමනයා කියන්නේ කුමක්ද ? රැකියාවේ උස්-පහත් භේදයක් අවශ්‍ය ව තිබේ. ඒ තම අවශ්‍යතා ඉටු කරගැනීමට ‘පහළ‘ සේවක-සේවිකාවන් පාවිච්චි කරගැනීමට ‘ඉහළ‘ උන්ට හැකියාව ලැබෙනු පිණිස ය.  ඒ බව නොදන්නා පහළ උන් ට තමන් ‘පහළ‘ බව ඒත්තු යන පරිදි ඔවුන් පහළට ම දැමිය යුතුය.  සමහර මෝඩ පිරිමි පමණක් නොව, ඒවා පට්ට grt කර ගෙන ඉන්න කාන්තාවනුත් මේවා ඉස් මුදුනේ තියා ගෙන ඉන්නේ නූතන ඔළුගෙඩියක් ගෙලට ඉහළින් තබා පහළින්වත් නැති නිසා ය. සේවා තත්වයන් මත පමණක් නොව ජාතිය, ආගම, කුලය,ලිංගය ආදිය මත මේ වැනි අගතිගාමී ධූරාවලී ක්‍රමයක් තියා ගෙන ඉන්නා හනමිටි කාරයන් අදත් දකින්නට ලැබීම මොන තරම් අවාසනාවක් ද?  දැන් ඉතින් මේ අමන කතාවට ඉහත කී නිලධාරියා මෙසේ ප්‍රතිචාර දක්වයි;
“ඔව් බං, මගේ ‘මනුස්සකමට’ තමයි මම මුන් ව ආශ්‍රය කරේ.  උඹලා යන දේ දැන් තමයි මට තේරෙන්නේ.  මගේ ‘මනුස්සකම’ තමයි වැරැද්ද !”
 මේ චූදිත නිලධාරියාගේ පිටුපසින් ඇත්තේ ඛේදවාචකයක් බැවි මගේ අදහසයි.  මගේ මිතුරිය මෙන් ම මෙකී නිලධාරියා ද ‘ලිංගික කුහකත්වය’ නම් අමනුස්ස ක්‍රමයේ දෙපැත්තකින් ගොදුරු බවට පත් වූවෝ වෙති.  එහෙත්, මේවා නිවැරදි කිරීමට ඇති ලොකු ම බාධකයත්, ඒ ගොදුරු විසින් ම,  අමනුස්ස ක්‍රමය ම පෙරලා පෝෂණය කරන  බැවිනි.  මේ කියන නිලධාරියාගේ යහළුවන් මෙන්, ඉන් එහාටත් මේ වගේ අමනුස්ස යාන්ත්‍රණයන් හදා-වඩා-නඩත්තු කරන්නන් විසින් විසඳුම පේන තෙක් මානයෙන් ඔබ්බට ද තල්ලු කරනු ඇත.

‘ලස්සන’ දැකීමේ, අගය කිරීමේ හැකියාව ඇති සංස්කෘතියක් අපට ඇත්දැයි මට සැක සිතෙයි.  මේ සමාජයේ දී ‘ලස්සන’ යනු හොරෙන්, බලය යෙදීමෙන් ගසා කෑ යුත්තක් සේ ය.  ‘ලස්සන’ යනු අන් අයට නොපෙන්විය යුතු දෙයකි. ‘ලස්සන’ යනු හොර රහසේ බැලිය යුතු දෙයකි; තමන් එය රස විඳින බව ද හෙළිවුවහොත්, වහාම එයට ගරහා-පහර දී වනසා දැමීමෙන් ගැලවීම ලැබිය යුත්තකි.   මේඅපේ  ‘පොර’ වල් කියමින්-කරමින්සිටින දේ නොවේ ද? 
ඉතින් මේ සිද්ධියේ තවත් දිගුවක් ඇත.  
අර නිලධාරියාගේ වදෙන් බේරෙන්නට ඔහුගේ ඇතැම් මිතුරන් මගේ මිතුරියට බලපෑම් කරන්නට පටන් ගෙන ඇත.  ඇයගේ ද හිතවතුන් ලෙස පෙනි සිටිමින් මේ ඔවුන් ඉදිරිපත් කරන අදහසයි.
“අපි දන්නවා, මු කොහොමත් මෝඩයා. කිසිම මොළයක් නෑ. නැත්නම් තවත් ප්‍රශ්නයක් දා ගෙන තියෙන අස්සේ ඒ වගේ ම තවත් එකක් දා ගනීද ! වැරැද්දක් තමයි උ කරලා තියෙන්නේ.  ඒ  වුණාට ඉතින් මෙහෙමයි.  මූ ගැන මෙහෙම action එකකට ඔයාල යනවා කියන්නේ, ඒකෙන් සවුත්තු වෙන්නේ ඔයාල ම තමයි.  මේ මුළු ofc එක ම මේක දැනගන්නවා.  ඔයාල highlite වෙනවා වැඩියෙන්.  ඒකෙන් අරූට වඩා සවුත්තු වෙන්නේ ඔයාල ම තමයි” 
කාර්යාලයේ කාන්තාවන් ට මේ ලෙසින් ම කර ඇති තවත් හිරිහැරයන් කිහිපයක් ම ගැන මේ වන විටත් තවත් පැමිණිලි මේ නිලධාරියාට විරුද්ධ ව ලැබි තිබීම නිසා පරීත්ෂණයේ දී අනිවාර්යයෙන් ඔහුට අමාරු තත්වයක් ඇති වෙනු ඇති.  ඒත් මට අනූව මේ ප්‍රශ්නයේ මතු පිට පෙනෙන කොටස පමණක් බව ය.  ලොකු ම කොටස මේ වන විටත් කාර්යාලය තුළ, හිරිහැරයට ලක් වූ, ඒ ගැන පැමිණිලි කළ මගේ මිතුරිය ඉලක්ක කර ගත් අපහාස-අවලාද ව්‍යාපාරයක් ගෙන යන පිරිස ය;  මේ වැනි අවස්ථා ගැහැණුන් විසින්, නිහඬ ව, හොර රහසේ දරා ගත යුතු ය යන මතවාදය ය. මගේ මිතුරියගේ තනතුරේ ව්‍යුහගත වීම පෙන්වා කරනු ලබන පහර දීම් ය.  ඔවැනි සංස්කෘතියක් රකිමින් අපි අර වැනි එක් චූදිතයකු පමණක් දඬුවමට ලක් කිරීම, ඊට වඩා බරපතල ලෙස ඒ පීඩක යාන්ත්‍රණය පවත්වා ගෙන යන්නට දායක වන සියළුම දෙනාගේ නිදහස තහවුරු කර තිබීම යන තත්වයන් තුළ ඇත්තට ම වැඩකට ඇති යමක් වේ ද? 
එහෙත්, අවම වශයෙන් මම මෙහි දී අවමය වෙනුවෙන් වත් පෙනී සිටිමි.  ඒ එතැනින් නතර වනු සඳහා නොවේ. ඉන් එහාටත් යනු සඳහා ය; මේ ලියන්නේ ඒ වෙනුවෙනි.         

Monday, October 10, 2016

ලෝකය ගැහැණු ළමයා ගේ දිනය සමරද්දී.........




 මේ ලෝකෙට මම බිහි වුණේ අනූව දශකයේ එක අවුරුද්දක.  මගේ අක්කා මට වඩා අවුරුදු ගාණකින් වැඩිමල්.  අක්කගෙන් පස්සේ ඒ අවුරුදු ගාණක් තිස්සේ මගේ අම්මත්, තාත්තත් ගොඩක් බලාපොරොත්තුවෙන් ඉඳල තියෙන්නේ ඊළඟට පිරිමි ළමයෙක් හම්බ වෙයි කියල ලු.  ඉතින් මම ඉපදිල තියෙන්නේ ඒ දෙන්නගේ ඒ බලාපොරොත්තු සුන් කරගෙන !  ඒ ගොල්ල අවුරුදු ගාණක් බලා ගෙන හිටපු වස්තුව මම නෙවෙයි.....!  මේ මෑතකදීත් අම්මා කියනවා ම ඇහිල තියෙනවා, මම ඉපදිලා සතියක්-දෙකක් යන තුරු ම තාත්තනම් හිටියේ සතුටකින් නෙවෙයි කියලා.  ඉපදුන පුංචි ම බබා කාලේ දුකක් දැනෙන්න තරම් දැණීමක් නැති වුණත්, මේ බව තේරෙන කොටනම් දැණුන දුක මෙච්චරයි කියල කියන්න බැහැ.  ඉතින් මම ගැහැණු දරුවෙක්.  ඒක මගේ දෙමව්පියන්ගේ අවාසනාව ද ? මගේ අවාසනාව ද ?

කොහොම හරි මම ඉපදිලා අවුරුදු දෙකකට පස්සේ අම්මගෙයි, තාත්තගෙයි දෙන්නගේ බලාපොරොත්තු ආයෙමත් ආලෝකමත් වුණා; මට මල්ලියෙක් ලැබිලා.  වෙන විදියකට කීවොත් අම්මටයි,තාත්තටයි පිරිමි දරුවෙක් හම්බ වෙලා.
එක දරුවෙකුගේ ඉපදීම දුකකුයි, තව දරුවෙකුගේ ඉපදිම සතුටකුයි පරස්පර විරෝධී විදියට එක ම දෙමව්පියන් ට ඇති වෙන්නේ කොහොමද !  ඒ වෙනස ඇති කරල තිබුණේ මල්ලිගෙයි, මගෙයි ලිංගිකත්වයන් දෙකේ වෙනසෙන්. ඒත් ඒක එහෙම වෙන්නේ කොහොමද ?  මට අවුරුදු පහක්-හයක් වෙද්දී මම කල්පනා කරන්න ගත්තා.  ඒත් මට උත්තරයක් හොයා ගන්න බැරි වුණා.  දුකක්-වේදනාවක් විතරක් ඉතිරි වුණා.  ඒක ඇත්තට ම එහෙම සිද්ධ වුණාද; එහෙ නැත්නම් ඒ මට දැණුන විදිය ද කියල අදටත් මම දන්නේ නෑ.  ඒත් ඒ මට දැණුන විදියනම්, ඇයි මට එහෙම දැණුනේ ?  මට හැම තිස්සෙ ම පෙණුණේ අම්මලා මට වඩා මල්ලිට ආදරය කරන බව.  මට වැඩිය හුරතලයක්,අගය කිරීමක්මල්ලි ට ලැබුණා; තාමත්.  දැන්නම් ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතිව වගේ ඉන්න මට පුරුදුයි.  ඒවා ගැන සොයා බලන්නේ නැතිව ඉන්න මට පුරුදු වෙලා.  ඒත්, පොඩි කාලේනම් එහෙම දේවල් දැනිලා අඬල තියෙන වාර ගණනුත් අනන්තයි.  ඒ එක්ක ම මගේ හිතට දැණුන ඊර්ෂ්‍යාව,  වෛරය අනන්තයි.  ඒ වෙලාවටත් ඒ ගැන තරවටුවක් ලැබෙනවා විනා, ඒ ඇයි කියල හොයල බලන්න අම්මටත්, තාත්තටත් බැරි වුණා.
පොඩි දවස්වල මටත් හිතුණේ මේක මගේ ප්‍රශ්ණයක් විතරයි කියලා. ගොඩක් වෙලාවට මේක අපි තේරුම් කරගන්නේ ආදරය අපේක්ෂා කරන දෙන්නෙක් අතර ඇති වෙන තරඟකාරී, නැත්නම් ඊර්ෂ්‍යාත්මක හැඟීමක් විදියට; ඒත් ඒ එච්චරම ද?  දැන් මට තේරෙනවා මෙතැන ගැහැනු-පිරිමි කියන ලිංගිකත්ව ප්‍රශ්නයකුත් තියෙනවා කියලා.

ගැහැණුකම ඇතුළේ මම වගේ ම අම්මත් පීඩාවට පත් වෙනවා.  ගැහැණුකම ශාපයක් කියල දකින්න මේ නිසා අම්මට ලේසියි.  මම උපදින කොට මම තුළින් ගැහැණු ළමයෙකු අපේක්ෂා නොකරන්න අම්මට මේකත් හේතුවක් වෙන්න ඇති.  ගැහැණු ළමයින් පරිස්සම් කරන්න ඕන; රැක බලා ගන්න ඕන; පිටටයි අන්තිමට දෙන්න වෙන්නේ; කොයි අතින් බැලුවත් ඵලදායිතාවය අඩුයි.  මෙන්න මෙහෙමයි නේ අපේ සමාජවල හිතන්නේ.  ගැහැනු ළමයාගේ එකම වටිනාකම තමයි පිරිමින්ට සහායක උපකරණයක් වීම. මේ අනු ව බැලුවා ම.  ළමයි හදල දෙන එක; උයල-පිහල දෙන එක; ගෙවල්-දොරවල්-රෙදි-පෙරෙදි අස්-පස් කරල දෙන එක....ඔන්න එය වගේ ලට්ට-ලොට්ට ගොඩක් ගැහැණු ළමයාගෙන් අපේක්ෂා කරනවා.  දැන් අපේ අම්මා මේක තමන්ගේ ගැහැණුකමේ උරුමයක් විදියට නිකම්ම භාර අර ගෙන තියෙද්දීමම ඒක ප්‍රශ්න කරනවා.  මේක තමයි අම්මයි, මායි අතර තියෙන පරම්පරා වෙනස !
ඔන්න අම්මයි-තාත්තයි එකට ගමනක් ගිහින්, ගෙදර එනවා.  දෙන්නට ම එකම විදියට මහන්සියි.  තාත්තාගෙට ගොඩ වෙන්නේ ම තමන් එක්ක ආපු අම්මගෙන් තේ එකක් ඉල්ල ගෙන. මේකේ කිසිම අමුත්තක් අම්මට දැණෙන්නෙත් නෑ.  ඒත් එයාට කේන්තියි.  ඉතින් බැන බැන තේ හදල දෙනවා. ඊට පස්සේ උයන්න පිහන්න පටන් ගන්නවා.  ඊට පස්සේ අස්-පස් කරන්න ඕන. ගැහැණු වෙලා උපන්න ම එහෙම කරන්න ඕන ලු; ඒත් ඒ ඇයි කියල ඇහුව ම ඒක පැහැදිලි කරගන්න කාටවත් ම බැහැ.  ආදරය, යුතුකම කියන්නේ ඒකටයි කියල තව විකාරයක් පටලව ගන්නවා.  එහෙම නොවුණා ම පවුල් වල ප්‍රශ්න ඇති වෙනව ලු.  හි හි.....! (ඉතින් ඕනැම පීඩාවක් දරා ගෙන ඉවසගෙන හිටියම ප්‍රශ්ණයක් නෑ තමයි පීඩාව පවත්වගෙන යන අයට !)  මේවා පුද්ගලික ප්‍රශ්න හැටියට අපේ වගේ නොදියුණු සමාජවල තේරුම් ගන්නේ.  ඒ නිසා විසඳ ගන්න වෙන්නෙත් හොඳට ම දුර්වල කරල තියෙන තනි තනි ගැහැණුන් ට.  ඒ වගේ පසුබිමකදී අම්ම වගේ ගැහැණියක් මේ කියන උරුමයේ කරුමය පරාජය කරන්න අසමත් වෙනවා.  ඉතින් එයා ඊළඟට බලන්නේ මේ කරුමය උරුමයක් හැටියට තමන්ගේ දෝණිටත් පටවන්න.  තාත්තා ඒක එහෙම කරන්න ඕන කියල හිතන තැනට වඩා වෙනස් ව නමුත් අම්මා ඒ වගකිම තමන්ගේ අතට ගන්නේ මෙන්න මෙතැනින්.  ඉතින් එයා මාවත් ඒ වැඩවලට පුරුදු කරවන්න හිතනවා.  මම උයන්න-පිහන්න උදව් වෙන්න ඕන; ගේ අස්-පස් කරන්න ඕන.  ඇයි; මම ගැහැණුළමයා නිසා. මේ හැම දේකින් ම මල්ලී නිදහස්.  ඊළඟට එයා කොයි තරම් රෑ වෙලා ගෙදර ආවත් ලොකු අර්බුදයක් වෙන්නේ නැහැ; හැබැයි මම වෙනදට වඩා ටිකක් පරක්කු වුනොත් ඒ වෙලාවේ ලෝක විනාශය සිද්ධ වුණා වගේ තත්වයක් මතු වෙනවා අපේ ගෙදර !    මල්ලි එහෙම ආවොතින් විරෝධය පල කෙරෙනනේ මුනිවත රැකීමෙන්.  ඒත් ඒ වගේ වෙලාවක දී ගෙදර බල්ලා ට වුණත් මට බැනීමට අවශනම් බුරන්න ට ඇති අයිතියට මා ගරු කළ යුතුයි කියලයි හැමෝම හිතන්නේ.  පෙරලා ප්‍රශ්න ඇසීමත් මහා පාපයක් වෙනවා. මොකද එකටෙක කියන එක ගැහැණුකමට කොහොමටත් නොසුදුසුයි ලු !

අඳින්න-පළදින්න, කන්න-බොන්න, කතා කරන්න, හිනා වෙන්න, බනින්න කොල්ලෙකුට නිදහසක් තියේනම්, කෙල්ලෙක් ට ඒක නුසුදුසු වෙන්නේ කොහොමද ?  හමේ පාට මොකක්ද, කතා කරන භාෂාව මොකක්ද වගේ කරුණු උඩ මනුෂ්‍යයන්ට අයිතිවාසිකම් අඩු-වැඩ වෙන්නේ නැත්නම් ලිංගිකත්වය උඩ එහෙම වෙන්න ඕන කියලා හිතන පදනම මොකක්ද ? අනිත් තැන්වල සමානත්මතාවය ගැන බෙරිහන් දෙන අයත් මේ කියන ලිංගිකත්වයේ තැනට ආවම වෙව්ලන්න පටන් ගන්නේ ඇයි ?

සමහරු කියනවා, මේ ඔක්කොම ගැහැණුන්ගේ ආරක්ෂාවට ලු ! කාගෙන්ද ගැහැණුන් ව ආරක්ෂා කරන්න තියෙන්නේ ?  පිරිමින්ගෙන් ම නේ ද? මොකෝ, කැලෑ බිඳ ගෙන අලි ඇත්තු- සර්පයෝ එන්නේ නෑ නේ ගැහැණුන් ව බිලිගන්න ! එහෙනම්, ගොදුර බවට පත් වෙන ගැහැණිය ව ගෙවල් මුල්ලේ කොටු කරල දානවා වෙනුවට මේ සමාජයට කරන්න තියෙන්නේ තමන්ගේ පිරිමි සත්තු ටික ගෙවල් ඇතුළේ කොටු කර ගන්න එක.  එතකොට ඉතින් මේ පිරිමි සමාජය කල්පනා කරන විදියට කිසි ගැහැණියකට කිසිම අනතුරක් වෙන්නේ නැහැ නේ. දැන්වෙලා තියෙන්නේ මේක පටලවා ගෙන අනතුරු ඇති කරන්නා, වැරදිකාරයා, දූෂකයා එළියේ නිදහසේ තියා ගෙන, පීඩිතයා දොරගුලු ලා සිර කර තැබීමයි.  මේ තත්වය රැක ගෙන ඉන්න පිරිමි ඔළුගෙඩි ඇති ගැහැණු-පිරිමි කවුරුත් මේ ගැන හිතා බැලුවොත් ටිකක් මොළේ ඇති විදියට වැඩ කරගන්න පුළුවන් වෙයි.  හි හි....!

ඉතින් මුළින් කියා ගෙන ආපු විදියට මේක මගේ මගේ අම්මගේ වරද නොවෙයි.  එයාටමේක පටවපු එකක්.  ඒ පටවලා තියෙන්නේ තාත්තා නෙවෙයි; මල්ලිත් නොවෙයි.  ඒක අපේ සමාජයේ නොදියුණුකම ඇතුළේ සංස්කෘතියෙන් පැටවුණ එකක්.  මේක මගේ අම්මගේ-තාත්තගේ පුද්ගලික ප්‍රශ්නයක් කියලා පටලව ගන්න එපා.  කුහක නැතිව බැලුවොත් අපේ මුළු සමාජයෙ ම මේ ප්‍රශ්නය තියෙනවා.   දියුණු විදියට මනුෂ්‍ය සමාජයක් හදා ගන්න නම් අපි මේ යල් පැන ගිය පුරුෂාධිපත්‍යය වගේ කුණු ගොඩවල් ඒවාට අයිති බක්කිවලට ම යොමු කරන්න දැණුවත් තීරණයක් ගන්න වේවි.  

අළු- දූවිලි මැදින්, ගිණි දළු ව නැගිටිමි......

ගිය අවුරුද්දේ start කරපු මගේ blog එක හිටි ගමන් නැති වෙලා !

මට මාර දුකයි !

post එකක් ලියා ගන්න තරම් වෙලාවක්-හිතට නිදහසක් නැති වුණත් මම කීපවතාවක් ම ඇවිත් මගේ blog එක බලල ගියා.  ඒත් දවසක් post එකක් ලියන්න මම try කරද්දි මට තේරුණා මට ඇතුල් වෙන්න බෑ කියලා මගේම blog එකට ! blogger අහනව, මේ මමම ද කියලා ! යකා නගින වැඩක් ! ඉතින් කරන්න පුළුවන් හැම විදියකින්ම මම ට්‍රයි කළා මේ මමම තමයි යකෝ කියල ඔප්පු කරන්න......


හරි ගියේ ම නෑ !

අන්තිමට මම වෙන තීරණයක් ගත්තා.

ඒ තව blog එකක් පටන් ගන්න. හැම දේම ආයෙත් මුල ඉඳල ම යන්න. ඒත් එහෙම කීවට එහෙමමත් බෑ නේ. ඒ හැම දේම ලේසියෙන් අතෑරල දාන්න පුළුවන් දේ නෙවෙයි. ඉතින් මම අළුතෙන් ම blog වැඩේ පටන් ගන්නවත් එක්කම තව තීරණයක් ගත්තා මගේ පරණ blog පෝස්ට් ටික උස්සන්නත් !

හි හි !

ඔන්න මම ඒ වැඩේ කළා ! (ඒත්, ලොකුම දුක ඒකේ තිබුණ වටිණා comments ටික
මට නැති වුණ එක. ඒ ටික ගන්න බැහැ !)

මගේ නම, ඊමේල් ඇඩ්‍රස් එක්කොම ඒ විදියටම ගත්තා කිසිම අපහසුවක් නැතිව !

ඒත් පරණ තිබුණ දේ ම ඒ විදියට ම නෑ. දුකයි තමයි.

ඒත් මම ආයෙමත් අළුතෙන් පටන් ගන්නවා !


Friday, October 7, 2016

මරණ දඬුවමෙන් අපරාධ මරා දැමිය හැකිද ?

පුංචි සේයා....., කඳුලක සේයාවක් පමණක් හදෙහි ඉතිරි කොට මැකී ගොස් අවසාන ය.  කඳුලක සේයාවක් ඉතිරි කර ගියේ ඒ මල් කැකුළ පමණක් නොවේ.  තවත් බොහෝ මල්කැකුළියන්, අහිංසකාවියන් පාපතරයන්ගේ ගොදුරු බවට පත් වී මුකුලිත වී ගියේ ය.  සේයා ට මෙන් ම යාපනයේ විද්‍යාට ද අත් වූයේ මෙවන් ඉරණමකි.  එදා උතුරේ මිනිස්සු පාරට බහිමින් ඒ අහිංසකාවිය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටියෝ ය.  අද දකුණේ මිනිස්සු සේයා වෙනුවෙන් යුක්තිය ඉල්ලති.  මිිනිසුන් අපරාධවලට එරෙහි ව පාරට බැසීම සාධාරණ ය; යුක්තිය ඉල්ලීම සාධාරණ ය. 


නමුත් යුක්තිය වෙනුවෙන් ‘මරණය‘ ඉල්ලා සිටීම සාධාරණ ද?

මෙවන් ලේ කකියන අපරාධයන් දකින විට, මෙවන් දරුවන් පාපතරයන්ගේ අතින ඝාතනය වන විට අපරාධකරුවන්ගේ මරණය ප්‍රාර්ථනා කරන හැඟීමක් මනසෙහි මතු වීම තේරුම් ගත හැක.  ඕනැ ම මිනිස් හදවතක් තුළ එවැනි හැඟීමක් ඇති විය හැක.  මට ද එසේ දැණුන අවස්ථා ඇත. 

“ඒ පාහරයා එල්ලා මැරිය යුතුය“
“ඒ පාහරයා ගල් ගසා මරා දැමිය යුතු ය“

සේයාගේ මරණයත්, තවත් එවැනි බොහෝ මරණත් දකින විට ඒ ඇති වන හැඟීම සාමාන්‍ය නමුත් අපරාධකරුවාගේ මරණයෙන්, අපරාධ මරා දැමිය හැකි ද ? නීති විරෝධි මරණයකට විසඳුම් පිළිතුර නීතියට අනූව තවත් මරණයක් ද? එවැනි නීතියකුත්, අවනීතියකුත් අතර පැහැදිලි බෙදුම් රේඛාවක් ඇඳ ගන්නට හැකි කිසිවෙක් අපි අතර සිටින්නේ ද ?  මිනිස් සමාජයක් ලෙස අප විසින් අපරාධ වැළැක්විමට සොයා ගත් හොඳ ම විසඳුම මෙය ද ?  අපරාධකරුවාගේ මරණය විසින් ඇති කරනවා යයි අපි බලාපොරොත්තු වන ‘බිය‘, අපරාධ වැළැක්වීමෙහි ලා කොයි තරම් සාර්ථක ද ? 

අවසාන වශයෙන්, අපරාධ වැළැක්විම සඳහා සැබෑ විසඳුමකට එළැඹෙන්නේ නැතිව, මෙවැනි විසදුම්වල එල්ලී යෑම, අපරාධ මර්දනයට නොව වර්ධනයට ම හේතු වන්නක් නොවේ ද ?  මරණ දඬුවම සාර්ථක විසඳුමක් නොවන්නේ නම්, එය ක්‍රියාත්මක කිරිම මගින් අපි ඇත්ත වශයෙන් ම කරනුයේ ඒ අපරාධයන් තවදුරටත් තහවුරු කිරීමක් ම නොවන්නේ ද? මම යළි යළිත් සිතා බැලුවෙමි; තර්ක-විතර්ක කළෙමි. 

‘උපන්ගෙයි අපරාධකරුවෝ‘ යයි පිරිසක් නැත.  අපරාධවලට මුල් වන බීජයන් ඇත්තේ කොහේද ? ඒවා සොයා, ඒවා විසඳීම හැර, අපරාධකරුවා මරා දැමීම විසඳුමක් නොවේ යයි මට සිතේ.  හේතු-ඵල න්‍යාය ටොන් ගානට දන්නවා යැයි කියන මේ මහා සමාජයට මෙය වැටහෙන්නේ නැත්තේ ඇයිදැයි මට නොතේරේ.  මරණයට මරණයක් මගින් පිළිතුරු ඇතැයි අපට උගන්වා ඇත්තේ කොතනින් ද?  කළ යුත්තේ අපරාධවල මුල බීජ සොයා, ඒවා මුලිනුපුටා දැමීම ම නොවේ ද? 

‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය‘ යයි අපි විසින් පාරම් බා ගන්නා මේ දූපතේ පොළොව සරුසාර වී ඇත්තේ ආගමානුකූල, විනයානුකූල, ශිෂ්ඨසම්පන්න මල්ඵල ගන්වන බීජයන්ගෙන් නො ව, අසික්කිත, හිරිකිත, පාපකාරී, ජඩ ක්‍රියාවන් හි බීජයන්ගෙනි.  එසේනම් සමාජයක් වශයෙන් අප කළ යුත්තේ ඒ අස්වැද්දෙන බීජ සොයා, ඒවා විනාශ කර දැමීම ය. 

බටහිරයන්ට සංස්කෘතියක්, සදාචාරයක් නැති බව කියමින්, උන් මහ අසික්කිත-වනචර ජාතියක් යයි කියමින්, අපි එහෙම නෙවෙයි කියන මේ ‘මුතු ඇටයේ‘ පාරක් පාරක් ගානේ, හංදියක් හංදියක් ගානේ වෙන්නේ හිරිකිතයක් නැති මිනිමැරුමක් ය; ස්ත්‍රීදූෂණයක් ය; මංකොල්ලකෑමක් ය.  මේ ලියන තත්පරයේ ද කොහේ හෝ තැනක ‘ඒවාට ඉඩක් නැතැයි‘ කියන මේ දූපතේත් එසේ වෙන බැව් රහසක් නොවේ. 

මේ කියන සංස්කෘතිය අවුරුදු දෙදහස් පන්සියයකට වඩා ඉපැරණි ලු.  ඉතින් අපට එයින් දැන් උරුම වී ඇත්තේ මොනවාද ?  මේ අපරාධවලට පසුබිමේ ඇති කුහකකම මේ කියන මහ ලොකු සංස්කෘතියේ ලොකු ම දායාදය නොවේ ද ? මට එහෙම දැනෙන්නේ ඇයි ?  අතිශය සාමාන්‍ය දේවල්, ‘මහා අභිරහස්‘ බවට පත් කළ විට ඒවාට නැති වටිණාකමක් ආරූඪ වෙයි; තියෙන වටිණාකම යට යයි.  බොහෝමයක් අපරාධවලට මුල් වී ඇති ලිංගිකත්වය සම්බන්ධයෙන් මේ මහා සංස්කෘතියෙන් කර ඇත්තේ එයයි.   ඉතින් අපරාධවල මුලබීජය, මේ අපරාධවලින් වැනසෙනවා ය කියන සංස්කෘතිය ම නොවේ ද?    මටනම්, මේ උලව් සංස්කාතිය රැකිමට වඩා මේ අපරාධවලින් වැනසෙන ජීවිත ආරක්ෂා කරගැනීම, ජිවිතය සතු නිදහස ආරක්ෂා කර ගැනීම මිලියන වාරයක් වටී. 

ලිංගිකත්වය සම්බන්ධ අපරාධ වැළැක්විමටනම් කළ යුතු වැදගත් ම දේ ලිංගිකත්වය ගැන විධිමත්-අවිධිමත්- නොවිධිමත් හැම අතින් ම පරිනත- උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීම ය.  ළමුන් ට පමණක් නොවෙ, වැඩිහිටියන්ට ද එය අවශ්‍ය වේ.  දන්නවා යයි බකපණ්ඩිතකමට සිතා සිටියා ට අපේ වැඩිහිටි සමාජය මේ ගැන දන්න ඉටිගෙඩියක් නැති බව සිදු වෙමින් තියෙන දේවලින් උඩින් ම හෙලිදරව් වෙයි.  ඒකත් හරියට වයස පිරුණා ම ඡන්ද බලයට ලැබුණ සුදුසුකම වගේ ය.

ලිංගිකත්වයේ ඇති අරුමබව නැති කොට, එය සාමාන්‍ය දෙයක් බවට පත් කළ යුතු ය.  දෙමව්පියන් ඒ ගැන අවබෝධයකට ගෙන ආ යුතුයි.  ඒ සඳහා ගුරුවරුන් පුහුණු කළ යුතුයි.

එසේ නොකරන තාක් මේ වැරදි වැඩවලට වැට බැඳිය නොහැකි වනු ඇත.  එල්ලුම් ගස් දසදහසක් ක්‍රියා කළත් ප්‍රතිඵලය මෙය ම වනු ඇත. 

දැන් අපි මෙය අපේක්ෂා කරනුයේ මේ රටේ පාලකයන්ගෙනි.  උන්ව පාර්ලිමේන්තුවට යැව්වේ අපේ හඬ නියෝජනය කරන්නට ය.  ඒත්, ඒ හරක් හිතා ඉන්නේ උන් රජවරුන්ට විවිධාකාරයේ සර්විස් සපයා දී , නිලමේකම් ගත් උන් ලෙස වගේ ය.  ඉතින් ඒකට හරියන්නට උන් ‘රජෙක්‘ ගැන ද මවා ගනිති; ඒ පාර්ට් එකට ඇදගන්නා එකා ද ඒ පාර්ට් එක හරියට ම කරන්නට වග බලා ගනී.  ඉතින් බටහිරයන්ට වැනි දියුණු පාර්ලිමේන්තුවක් අපට අහිමි ය.  මේ ඔක්කෝට ම හරියන්නට රටේ ඡන්ද බලය හිමි මහජනයාගෙන්  සැළකිය යුතු පිරිසක් ද ලක්ෂ ගණන් ඇති හෙයින් මේ වැඩ සිදු වෙන්නේ වැඩි බාධාවකින් තොරව ය.  ඉතින්, හරක්ටත් අපහාසයක් ම වන තරම්, තණකොළ ද නොකන මෙවැනි හරක් සමාජයකින්, හරක් පාලකයන්ගෙන් අපට මෙවැන්නක් අපේක්ෂා කළ හැකි ද? බැරි යයි කියා උන්ට පාඩුවේ ඉන්නට ද දිය නොහැක.  අපේ සල්ලි ය! අපේ ජිවිත ය ! බලය හා වගකිම උන් අත ය !

අනිත් අතින් මෙය පාලකයන්ට පමණක්මත් කළ හැකි දෙයක් ද නොවෙයි.  සමාජය මෙහෙයවන, මේ අපරාධවලට ද සැළකිය යුතු වගකිමක් දැරිය යුතු ආගමට ද මේ ගැන නික්ම පැත්තකට වී ඉන්නට ඉඩ දිය නොහැකි ය.  නිකම් පැත්තකට වි ඉන්නවාටත් වඩා දරුණු දෙයකි දැන් එතැනින් වන්නේ.  වෙනස පටන් ගත යුත්තේ එතැන ඉඳන් ම ය. 

සුචරිතවත් ලංකාවක් උදෙසා එල්ලුම් ගහේ පිහිට පතන පිරිස අතුරින් වැඩි දෙනා බෞද්ධයන් බව පෙනෙයි.  එහෙත් බෞද්ධයන් පමණක් නොවේ.  එසේ වුව ද, මා කුඩා කාලයේ සිට ම හොඳින් ම දන්නා කරුණු සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් ඇත්තේ බෞද්ධ ඉගැන්වීම් තුළ නිසා, බුදුන්ගේ හා පන්සලේ ඉගැන්වීම් අතර වෙනස නිතර මා අත්විඳින්නක් නිසා, ඒ ඇසුරෙන් යමක් කියන්නට උත්සාහ කරන්නෙමි. 

අපේ බෞද්ධයෝ දැන් හරිම සක්‍රීය ය.  උදේ හවස පිරිත් අහන, බෝධි පූජා පවත්වන, පන්සිල්-අටසිල් ගන්නා සැදැහැවත් ජනතාවකි.  එහෙත් කුමන මොහොතක හෝ ඔවුන් ට බුදුන් ව ඇසී ඇත් ද?   අපරාධ වැළැක්වීමට දඩුවම් කිසිම උදව්වක් නොකරන බව සූත්‍ර පිටකයේ කූටදත්ත සූත්‍රය පෙන්වා දෙයි.  ප්‍රමාණවත් ආදායමක් ඇති විට මිනිසුන්ට සොරකමට, බොරු කිමට, හිංසනයට යොමු වීමට හේතුවක් නැති බව එය පවසයි.  එවිට සාමකාමී රටක් සෑදෙන බව ඒ මගින් පෙන්වා දෙයි.  ලිංගික අපරාධ සම්බන්ධයෙන් මේ අදාල වන්නේ කෙසේදැයි කෙනෙක් ඇසිය හැක.  බැලු බැල්මට සම්බන්ධයක් නැති බව පෙනුන ද, ප්‍රමාණවත් ආර්ථික වර්ධනයක්, හැම අංශයකම වර්ධනයකට මඟ පාදන බව අනුවනම් එහි ඍජු සම්බන්ධයක් ඇත.  බොදුනු යතිවරුනි, මේ ටිකත් දෙසනු මැනවි; බොදුනුවනි, ඒ හාමුදුරුවන්ගේ, මේ හාමුදුරුවන්ගේ නොව බුදුහාමුදුරුවන්ගේ බහටත් සවන් දෙනු මැනවි; තේරුම් ගන්නට තැත් කරනු මැනවි; ඒ අනූව ක්‍රියා කරනු මැනවි.  අනෙක් ආගමිකයන්, නිර්-ආගමිකයන් කාටත් මෙසේ ක්‍රියා කරන්නට පුළුවන.  දැනට ඒ වෙනුවෙන් පුරෝගාමිත්වය දරන්නන් වෙතොත් අගය කළ යුත්තෙමු; දිරි දිය යුත්තෙමු.

සේයා....ඒ අහිංසක සමනළිය මරා දමනු ලැබිය; කෙලසා, හප කොට මරා දමනු ලැබීය.  අපි කවුරුත් අඩු-වැඩි වශයෙන් වුවත් ඊට වග කිව යුතු නොවෙමු ද?  ඒ සේයා ගැන පමණක් නොවේ.  එසේ විනාශ කර දමනු ලැබූ තවත් අය ද වෙනුවෙනි;  තව මොහොතකින් විනාශවෙන්නට ඉඩ හැර ඇති තවත් අය වෙනුවෙනි. 

ඒ වැළැක්වීමට අපට ඇති මඟ එල්ලුම් ගසේ නැති බවත්, එල්ලුම් ගස ඇත්ත විසඳුම මඟ හැරීමක් පමණක් බවත්  තේරුම් ගෙන අපේ ඇත්ත වගකීම ඉටු කරමු.                                  

මරණ දඬුවමෙන් අපරාධ මරා දැමිය හැකිද ?

හිමිදිරියේ සේයාවක් ව, හිමිදිරියේ ම මැකී ගිය සේයා....

සේයා..., නුඹ තවමත් පුංචිම පුංචි දැරිවියකි.  නුඹේ කටේ කිරි සුවඳවත් තවම ගිහින් නැතිවා ඇති.  මොන්ටිසෝරියේ දි යහළුවන් සමග නුඹ දුව පැන ඇවිදින්න ඇති; සෙල්ලම් කරන්න ඇති;සින්දු කියන්න ඇති; දඟ වැඩ කරන්න ඇති.  ග‍ෙදර දී අම්ම තාත්තත් එක්ක මොන්ටිසෝරි යාළුවන් ගැන, කරපු දේවල් ගැන ගිරවියක් ගැන ගිරවියක් වගේ දොඩවන්න ඇති.  ගෙදර දී කරපු දඟ වැඩවලට අම්මගෙන් බැණුම් අහන්න ඇති. නංගියා එක්ක රංඩු කරල ගුටි දෙක-තුනක් කන්නත් ඇති; ගුටි කාල පස්සේ අඬන්නත් ඇති.  තාත්තාට සියළු කේලම් කියන්න ඇති.  තාත්තාගේ ඇකයට පැන නුඹ හුරතල් වෙන්න ඇති.  තව දින කිහිපයකින් ලබන අවුරුදු පහක උපන්දිනේ ගැන ඇඟිලි ගනිමින් බලා ඉන්න ඇති.  නමුත්, නුඹත් නොසිතූ මොහොතක,  නුඹ සුන්දර යයි සිතූ  මේ ලෝකයෙන් යන්න වෙන්න ඇති. 

සේයා, නුඹේ අතුරුදන් වීමත් සමඟ නුඹ වෙනුවෙන් මගේ සිතට ආ සිතුවිලියි මේ.

බාගෙට නිම කරන ලද නිවාසයේ නිදා සිටි මේ සිඟිත්තිය පැහැර ගෙන යද්දී ඇය සමඟ නිදා සිට මවවත් ඒ බව නොදත්තා ය.  වෙලාව රාත්‍රී දොළහත් පසු වී ඇත.  ‘‘දුව ආච්චිලා ළඟට නිදාගන්න යන්න ඇති. වෙනදටත් යනවනේ ඉතින්...“ අම්මාත්, තාත්තාත් ළඟ නැති දුව ගැන එසේ සිතා සෑහීමට පත් වූවා ලු.  වෙනදාටත් එසේ වී ඇති අත්දැකීම් ඔවුන් ඒ ගැන කලබල කිරීමෙන් වැළක්වීය.  ඒ වෙලාවේ තම ආදරණීය මද්දුම දෝණිය කුරිරුතර කාමාතුරයෙකුගේ අතින් කෙලසී,  තැලී පොඩි වී යමින් අසරණ ව සිටින බව නොදැන ඔවුන් සුවසේ නිදන්න ඇති. 

නිදි දෙව් දුවට තුරුළු ව සිටි පුංචි සේයා, නිදි ඇඳෙන් ඔසවා ගෙන යද්දී ඇය සිතන්නට ඇති අම්මා නැත්නම් තාත්තා ඇය ව ඔසවා ගෙන යන බවක්... ඒත් අතරමඟ දි සිඟිති දැරිවිය ඇහැරෙන්න ඇති.  තමන් ව ඔසවා ගෙන යන්නේ තමන්ගේ ආදරණිය අම්මා හෝ තාත්තා නොවන බව දැනුනා ම ඇගේ පුංචි මොළොක්  සිතට කුමන දෙයක්නම් දැනෙන්නට ඇත්ද ?  ඇගේ පුංචි හදවත කොතරම් බියකින් වේගයෙන් ගැහෙන්නට ඇත්ද?  ඇය කෑ මොර දෙන්නට ඇති; සමහර විට අඬන්නත් ඇති.  ඒත් ඒ රෑ ජාමයේ, මේ ගම්මානයේ කෑලි කැපිය හැකි අඳුර මේ අසරණියගේ විලාපයේ හඬ ගිල ගන්නට ඇති.  ඒ වැනි අන්ධකාර බිහිසුනු රැයක දෙවිවරුත් සිහින දකිමින්, සුව සේ නිදන්නට  ඇති, ඒ අඳෝනා නොඇසෙන තරම් දුර ඈත දෙව්ලොවක.

මේ හැම දෙයින් ම  ඇති තරමට ඉඩහසර ලද ඒ කාමාතුරයා මේ සිඟිත්තියව කොහේ හෝ ඇද ගෙන ගොස් කෙලසන්නට ඇති.  මහා සමාජයක් විසින් නිර්මානය කළ ඒ අසහනය, හීනමානය මේ අසරණ සිඟිත්තිය යට කොට තලා දමන්නට ඇති.  දෙවියනේ...., ඇයට තවම අවුරුදු පහක්වත් ලබල නැහැ; ඉස්කෝලේ පළමු වසර කියන එකවත් ඇය හඳුනන්නේවත් නැහැ.  මේ පුංචි මල් කැකුලිය ඒ කාමාතුර යකඩ හස්තයට යට වි තැළී පොඩි වී යද්දී, ඒ ජඩ පිරිමිකමෙන් කෙලෙසෙන විට ඇය ගේ සිතේ කුමක් ඇඳෙන්නට ඇත්ද ?  ඇය කෑ ගසා අඬන්නට ඇති; විලාප දෙන්නට ඇති.  ගැළ වි යන්නට ඒ සිඟිති සිරුරේ මුළු වෙර යොදා දැඟලූවත් ඒ කාමාතුරයාගේ ග්‍රහනය ඉදිරියේ තැළී පොඩි වී යන්නට ඇති.  ඇගේ සියුමැලි අතකුත් ඒ හැදි දැඩි අතින් කඩා දැමෙන්නට ඇත්තේ ඒ වෙලාවේ වෙන්න ඇති...  දෙවියනේ, ඔබේ පිහිට ඉල්ලා කොතෙක් කෑමොර ගෑවත් හඬ ගා කියන්නට නොහැකි වු ඒ වේදනාව ඔබේ සිතින් හරි අත්විඳින්නට ඔබට හැකිද?  කඳුළින් තෙතබත් ව, වේදනාවෙන් ඇඹරී ගිය ඒ අසරණියගේ මුහුණ තිස් තුන් කෝටියක් අතරින් එකම එක දෙවි කෙනෙකුටවත් නොපෙනී ගියේ කාගේ වරදකින් ද ?

සැප්තැම්බර් 13 වෙනිදා........

ඊයේ දවසත් ගම්වාසින්ගේ ද උදව් ඇතිව සෝදිසි කළ පොලීසියට දැරිය සොයා ගන්නට නොහැකි වුණා ලු.  අද, සැප්තැම්බර් 13,    මේ ලෝකයේ මනුස්සකම් ගැන අන්තිම බලාපොරොත්තුවත් එක්ක ප්‍රාණය ඉවත් ව ගිය ඇගේ  සිඳ බිඳ දැමූ සිඟිති සිරුර, නිවසට මිටර් 300ක් එහායින් ඇළ මාර්ගයක් අසළ දී සොයා ගැනුනා.  ඇය අන්තිම වරට ඇඟ ලා සිටි පුංචි බැනියම් කඩින් ඇයගේ ගෙල සිර කර තිබුණා.   ඒ පුංචි සිඟිත්තියගේ ජිවිතය ගැන තිබුණු අන්තිම බලාපොරොත්තුවත් බොඳ වෙමින් නැගුන අඳෝනා රුපවාහිනියෙන් බලා සිටි අපේ උගුරු ද වියළී ගොස් හිර වී යනු දැණුනා.  

මම මෙය ලියමින් සිටින විට පශ්චාත් මරණ පරීක්ෂණයවත් අවසන් නැහැ.  මේ වන තුරුත් ඒ අපරාධකරුවා ද නිදැල්ලේ.  සමහර විට ඒ දුක බෙදාගනිමින් ඉන්නා ගම්වාසින් අතර ම ඔහුත් ඇති.  අපරාධකරුවන්ට දැඩි දඬුවම් ඉල්ලා සිටිමින්,  බල කරන පිරිස අතරත් එවැනි පිරිස් නැතැයි සහතික විය හැක්කේ කෙසේද ?

‘‘මුන් වගේ උන්ට දෙන්න ඕන මරණ දඬුවමම තමයි“

“මුංව ප්‍රසිද්ධියේ එල්ලා මරන්න ඕන“

“මුංට ගල් ගහල මරන්න ඕන“

“ අර සෞදි අරාබියේ තියෙන දඬුවම් මේ රටටත් ගේන්න ඕන“ 

හතර වටින් මිනිස්සුන්ගේ කෝපය, වෛරය පිටාර ගලයි; මටත් එලෙසින් දැනෙයි. මෙවැනි අපරාධකරුවන්ට ලිහිලක් දීම යනු එවැනි අපරාධවලට ලිහිලක් දීම ම නොවේද ?   අපරාධකාරී දඩයම් බිමකට මේ වැනි තවත් අහිංසකයන් විවෘතව පාවා දීමක් නොවන්නේ ද ?  ඒ මගේ හදවතේ එක පැත්තකි.  මගේ හදවතේ අනෙක් පැත්තෙන් ඇසෙන්නේ දැඩි දඬුවම් මේ කෘෘරත්වයට වැටක් බදී ද යන්නයි.  ඒවා ක්‍රියාත්මක වෙනවා රටවල මේ වැනි අපරාධ නතර වි ඇත්ද ? නැත්නම් එවැන්නක ඇති ඵලය කුමක්ද ? 

මගේ අධ්‍යාපනය, මගේ ආගම ආදි කිසිවකින් විපිළිසර මගේ හදවතට පිළිතුරක් නැත.  මේ, මේ වර්ගයේ පළමු අපරාධය නොවෙයි; නිසැකව ම අවසානය ද නොවෙයි.  දිගින් දිගට ම මේවා සිදු වෙමින් යාවි.  මේ අපරාධ බල බලා මිනිස්සුත් හැමදාම හුල්ලාවි; අපරාධකාරයන්ට ශාප කරාවි; එල්ලුම් ගහ ගේන්න කියාවි.  ඔබත්, මාත් අපේ සුපුරුදු වැඩවලට යාවි.  තව තව සිදුවිම් අතර ආයෙත් මේවා අමතක වෙලා යාවි.  මේ විදියට මේවාත් සාමාන්‍යකරණය වෙලා යාවි.  

ආදරණිය සේයා....., ළහිරු රැස් පතිත වෙන ඒ හිමිදිරියේ සුරතල්, සුන්දර සේයාවක් ම වු නුඹ, මහදවල් ගනදුරක සැඟ වී ගොසිනි.  නැත; නුඹ ද, මා ද අයත් වන මේ සමාජයේ කුරිරුකම තුළ සඟවාලනු ලැබ ඇත.  උන් නුඹ ගිලගත්තේ ය.  තවමත් ජිවත් ව‍ෙන්න පෙරුම් පුරන සේයලා අපි අතර සිටිති; නුපන් සේයලා ද එසේ ම ය.  ඔවුන්ට ද සේයාවක් සේ මැකි යන්නට ඉඩ හැර මේ ගනඳුර සුරකිමු ද? ගනඳුර දුරු කරන්නට හැක්කේ කෙසේද? අපට ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද ?            

මට හමු වුණ දුයිෂෙන් (පළමු කොටස)


අදටත් මගේ දුකේදීත්, සතුටේදීත් ඔහු මා අසළ ම හිඳියි.  මගේ සියළු දුක් දොම්නස් මා සමඟ බෙදා ගනියි.  අසනීපයකදී සියළු උපස්ථානයන් කරයි.  මගේ දෑසෙන් වැටෙන කඳුළු ආදරයෙන් පිස දමයි.

ඒ පළමු වෙනි හමුවීම මට මෙන්න මේ වගේ මතකයි.

2008 වර්ෂයේ තවත් අළුත් දවසක් උදා වුණා.  O/L වලින් පස්සේ කම්මැලිකමෙන් ගෙවුණ ජීවිතයට ඒක ඇත්තට ම නව ආරම්භයක් වුණා.  ඉතින් අපි හැමෝ ම ජීවිතයේ පළමු වෙනි වතාවට ගොඩක් වේලාසනින් ඉස්කෝලේ ගියා.  මොකද, ඒ තරමට ම අපි කම්මැලිකමෙන් හෙම්බත් වෙලයි හිටියේ.  ආසාවේ බැහැ අළුත් සපත්තු, අළුත් uniforms, අළුත් පොත්-පත් එක්ක ඉස්කෝලේ යන කොට.  ඔක්කෝටමත් වැඩිය, අපි ඉස්කෝලේ ලොකු ම අක්කලා වුණා.  12 Arts පංතියේ දී අපිට වෙනත් ඉස්කෝලවලින් ආපු අළුත් යෙහෙළියන්වත් අඳුන ගන්න ලැබුණා. 
අපේ පංතිය භාර වුණේ පිරිමි ගුරුවරයෙකුට බව අපිට දැනගන්න ලැබුණා.  ඇත්තටම කව්ද සර් ? අපි හැමෝට ම කුතුහලය දැන වූ ප්‍රශ්නය එයයි.  මමයි, මගේ යහළුවොයි හැමෝ ම එක ගුරුවරයෙකු ගැන බලාපොරෝතුවෙන් හිටිය බව රහසක් වුණේ නැහැ.  ඒ සිංහල ගුරුවරයා.  යම් කඩවසම් පෙනුමක් තිබුණ ඔහු ට යටි හිතින් අපි ආශා කළා.  අපේ පංති භාර ගුරුවරයා ඔහු වේ වා යි අපි ප්‍රාර්ථනා කළා. 

නෑ; ඒත් අපේ සිංහල සර් නෙවෙයි ලු අපේ පංතිය භාර !  මගේ යෙහෙළියක් ඇවිත් කීවා.  “කව්ද එහෙනම්? අපි ඇහුවා.  “අර අළුතෙන් ආව තව සර් කෙනෙක් ඉන්නේ දසුන් කියලා. Political කරන්නේ. එයා ලු අපේ පංතිය භාර ව එන්න යන්නේ !  “අයියෝ ! මට නිකම් ම කියවුණා  “එයා ද අප්පා අපේ සර් !  අපි සියල්ලන්ගේ ම හිත් බිඳී ගියා: බලාපොරොත්තු සුන් වුණා. 

“අපෝ, එයානම් හරි borring මට හිතෙන්නේ.  දැන්එහෙනම් අපි ට නිදා ගන්න පුළුවන් ! ෂික් විතරක් ! අපේ සිංහල සර් ව වැටුණානම් කොච්චර හොඳ ද ?  දැන් ඉතින් මොනා කරන්නද ? හිත හදා ගන්නයි තියෙන්නේ           

පංති භාර ගුරුවරයා මදිවට Political Science විෂය භාර ගුරුවරයා ද වූ ඔහු පිළිබඳ ව එදා මට ආශාවක් දැණුනේ ම නැහැ.  කුමන හෝ දෙයක් සිදු වී මෙය නැවත වෙනස් වන්නේ නම් කොච්චර හොඳ  කියලය එදා මම කල්පනා කළේ.  ඊට කළින් කිසි දා අපි ඔහුගෙන් අකුරක් හෝ ඉගෙන ගෙන නැහැ.  එහෙව් ඔහු පිළිබඳ ව ඒ විදියේ අදහසක් මගේ හිත ට ඇතුල් වුණේ කොහොමදැයි මට අදටත් නොතේරෙන කරුණක්.
තවත් එක් සීනුවක් නාද වී අළුත් කාලපර්ච්ඡේදයක් එදා ආරම්භ වුණා.  අපේ අළුත් සර්, අපේ පංතිය භාර සර්, එහෙම නැත්නම් අපේ අළුත් පොලිටිකල් සර් අපේ පංතියට ආවා.  දත් තිස් දෙකම පෙනෙන්නට හිනා වී ගෙනයි සර් ආවේ.  ඔහු ව දැක්කම ඇත්තට ම අපිටත් හිනා නො වී ඉන්න බැරි වුණා.  ඈලි මෑලි ව, කම්මැලිකමෙන් හිටපු අපට පුදුම විදියට ඔහු ව උත්තේජනයක් වුණා.  ඔහු ට ඒ පිළිබඳව නම් මනා හැකියාවක් තියෙන්වා කියලනම් අපිට එදා ම හැඟී ගියා.  අළුත් විදියක්; අළුත් ආරම්භයක්.  මේ දක්වා කිසි ම ගුරුවරයෙක් නොකරපු අළුත් පටන් ගැන්මක්.  හුණු කූරක් අර ගෙන ඔහු යම් දෙයක් සටහන් කරන බව පෙණුනා.  මොකක්ද ඇත්තට ම එයා ලියනවා ඇත්තේ ? අපි කථා වුණා.  ‘දසුන් කහඳවෙල හි...හි...! ඒක තමයි එයා ගේ නම !මට හිනා ආවා.  මගේ යෙහෙළිය මට රහසින් කිව්වා “එයා වගේම නමත් හරි අමුතුයි නේද ! එයාටත් හිනා. “දන්නවද ළමයි, මේ කව්ද කියලා ? අපි “ඔව් කිවා. ඒත් නොදන්න අළුත් ළමයිනුත් එතැන හිටියා.  “දැන්, ඉස්සරහ දි මාව හොයා ගන්න ඕන වුණොත්, මේන්න මේ වචන ටික පාව්ච්චි කරන්නඔහු ව හඳුන්වා දුන්නේ එහෙමයි.


ඊළඟට ඔහු හැමෝගෙන් ම ඇහුවා අපි දේශපාලන විද්‍යා විෂයය තෝරගත්තේ ඇයි කියලා.  මම හිතුවා දැන්නම් මට හොඳ බැනුමක් අහගන්න වෙයි කියලා.  A/L Clz එකට දාන application එකේ කොහොම හරිsubjects තුනක් ලියන්න ඕන නිසා, තෝරගන්න එකක් නැතිකමටයි ඇත්තට ම මම Political Science තෝරගත්තේ.  දැන් ඉතින් මුළු පංතිය ම ඉස්සරහ කොහොමද ඒක කියන්නේ !  මගේ වාරය ආවා ! මට එක පාරට ම කියවුණා, “දේශපාලන විද්‍යාව ගැන මම කිසිම දෙයක් නොදන්න නිසා ම ඒ ගැන ඉගෙන ගන්න ආසාවක් ඇති වුණා කියලා.  “ඒකත් හොඳ උත්තරයක් ඔහු කීවා.  එදා දවස එහෙමම ගෙවී ගියා.  අපේ සුපුරුදු දෛනික පාසල් ගමන එදා දවසින් ආරම්භ වුණා.

මට හමු වුන දුයිෂෙන් (දෙවෙනි කොටස)


ඔහු පාසලට ආවේ බස්රථයෙන්.  පොඩි කාලේ ඉඳල ම අපේ ගුරුවරු ඉස්කෝලෙට ඇතුල් වෙන්නේ තමන් ගේ බෑග් හා අනෙක් බඩු-මූට්ටු Staff Room එකට නැත්නම් පංතියට උස්සන් ගිහින් තියන්න ශිෂ්‍යයන්ට භාර කරමින්.  පස්සේ පස්සේ අපි මේ වැඩේ ට හොඳට ම හුරු වුණා.  ගුරුවරු කියන්නත් කළින් ම ඔවුන් ගේ බෑග් අපේ අතට ගන්නේ , නැත්නම් පස්සේ හොඳ බැණුමක් අහන්න වෙන බව අත්දැකීමෙන් දන්න නිසයි.  ඒත් අපේ Political සර් කවදාවත් ඔහුගේ බෑග්, පොත්-පත් උස්සන් යන්න ළමයින් ට දුන්නේ නැහැ.  ඒ වෙනුවට ඔහු ඉස්කෝලෙට ඇතුල් වුණ තැන ඉඳළ ම කළේ කට පුරා ම හිනා වී Good Morning කීමයි.  දකින හැම ශිෂ්‍යෙයකුට ම ගුරුවරයෙකුට ම, පාසලේ කාර්යාලයේ වැඩ කරන කාර්ය මණ්ඩලයට,අතු ගාන ඇන්ටිට පවා සුභ පතමින් ආ ඔහු ට කිසි ම දිනෙක, කිසි ම උස්-පහත් භේදයක් තිබුනේ නැහැ.  පරණ දිසාපාමොක් චර්යාවන් සියල්ල ම බිඳ දමමින්, අපි සුබපතන්නටත් පෙර ම ඔහු අපි ට “Good Morning පුතේ යයි සුභපැතුවා.
“ඇත්තටම මාර හොඳයි බන් සර්.  මාර නිහතමානී චරිතයක් වගේ ඒ වචන අපේ හදවත පත්ළෙන් ම ඔහු වෙනුවෙන් පැන නැගී ආවා. 
සටහනට සීමා නොවුණ ඔහු දිනෙන් දින අපි ව ප්‍රාෙයා්ගිකයන් කරන්නට සැම විට ම වෙර දැරුවා.  ඒ සඳහා ඔහුගේ ඉගැන්වීම් රටාව මෙහෙයවූවා.  අපේ අධ්‍යාපනය ගැන විතරක් නොවෙයි, අපේ මුළු ජීවිතය ගැන ම ඔහු සොයා බැලුවා.  සුදු ගවුමින් වැසුනු අපේ ජීවිතවල අඳුරු පැතිකඩයන් ගැන ඔහු සොයා බැලුවා.  අපේ ජීවිතවල ගැඹුරට ම එබී බැලුවත් කවදාවත් පෞද්ගලිකත්වයට ඔහු ඇඟිලි ගැසුවේ නැහැ. 
දින-සති-මාස ගෙවෙන කොට අපේ ගුරුවරයා අපට නැතිව ම බැරි සම්පතක් වුණා. අපි හැමෝගෙ ම ජීවිතයේ සුපිරි වීරයා බව ට ඔහු පත් වුණා.  සම්ප්‍රදායයන් කණපිට පෙරලන්න හැමදාමත් ඔහු කළ කථාවන්ට අපි උඩු සිතෙන් අකමැති වුණත්, යටි සිතෙන් ආශා කළා.  ඔහුගේ කෙස් පැළෙන තර්කයන් ට අපි වශි වුණා.  අපි ඔහු ට පුදුමාකාර විදියට ආදරය කරන්නට පටන් ගෙන තිබුණා.  නැහැ; ගුරුවරුන් ව එපා ම වී, හෙම්බත් වි සිටි අපෙන් ආදරය සොරා ගත්තේ ඔහු ම යි.  කවදාවත් ගුරුවරයෙකුට නොකියන අතිශය පුද්ගලික ප්‍රශ්න පවා, පවුලේ දුක් ගින්දර හා බඩගින්න පවා අපි අපේ සර් එක්ක බෙදාගත්තා.  අපේ ප්‍රශ්නවලට ඔහු අවංකව ම මැදිහත් වුණා.  පාසලේ දි විසඳ ගන්න බැරි වුණ ප්‍රශ්ණ ඔහු ළමුන්ගේ ගෙවල්වලට ම ගොස් පුද්ගලිකව ම විසඳා දීමට කටයුතු කළා.  අසනීපයක දි හෝ පාසල් එන්නට බැරි වූ විට, විගසින් ම දුරකථන ඇමතුමකින් විමසන්නේ අපේ ආදරණීය ගුරුවරයා ය.  අපි කාගේ ත් ආදරණීය ම පියා බව ට අපේ මේ ගුරුවරයා පත් වුණා.  කල් යන කොට අපට සර් ව නැතිව ම බැරි වුණා.  අපි ඉස්කොලේ ගිය විගස ම, ඉහළ මාලයේ තිබූ අපේ පංති කාමරයේ බෑග් තියා පහළට දුව එන්නේ අපේ ආදරණීය ගුරුවරයා දකින ආසාවෙන්.  ඉස්කෝලේ ගේට්ටුවෙන් සර් ගේ රුව දුටු ගමන් ම අපි ටක් ගාලා ඒ දිහාට දිව යන්නේ සර් ට Good Morning කියන පළමුවැන්නා වෙන්නයි. එක දවසක් හරි සර් ඉස්කෝලෙ ආපු නැති දවස ට ඒ දවස ම අපිට ඉලව් ගෙයක් වගේ වුණා.  එහෙම දවස් ගෙවී යන්නේ ඔරලෝසුවට ඕනෑ  හැටියට ය.  ඒ දවසට අපි කඩිනමින් එළියට පැන ගන්නේ, පාරේ තියෙන 4n Box එකකින් හරි සර් ට කෝල් කරන බලාපොරොත්තුවෙන්. 
කලෙකට ඉහත දී සිංහල ගුරුවරයා ගේ රුවට පමණක් ආදරය කරපු අපි, මුළු හදවතින් ම අපේ දේශපාලන විද්‍යා ගුරුවරයාට මේ වෙද්දී ආදරය කළා. අපේ සිත් තුළ සුපිරිතම ගුරුවරයා වීම ට අපේ දසුන් සර් ට හැකි වුණා. 
ජාතීන් අතර අසමානතාවයෙන් බේදබින්න වී, අසහනය රජයන සමාජයක සියළු ම ජාතීන් ගේ සමානාත්මකාවය ගැන ඔහු කතා කළා.  ස්ත්‍රීන් ව පුරුෂයා ගේ ආධිපත්‍යෙයන් යට කර ගෙන ඉන්න සමාජයක ස්ත්‍රියගේ සම අයිතිවාසිකම් වෙනුවෙන් ඔහු නියම මනුෂ්‍යයෙකු හැටියට කතා කළා.  සියළු ම ආගම් වලට සමානාත්මතාවයෙන් ඔහු ගරු කළා.  හැම විදියක ම සමානාත්මතාවය ගැන ඔහු පෙනි හිටියා.
අපේ දෑස්වල තිබූ කඩතුරා අයින් කර,අළුත් ඇසකින් සමාජය දෙස බලන්න ට පුරුදු කළේ ඔහු.  මොට වෙච්ච,යාන්ත්‍රික හිත් හදපු ඉස්කෝලේ අළුත් කළේ ඔහු.  දිසාපාමොක් සම්ප්‍රදාය ප්‍රතික්ෂේප කළ ඔහු, අපි ඔහු ගේ ගෝලයන් වීම ඉවසුවේ නැහැ; ඔහු ට අවශ්‍ය වුණේ අභියෝග කරන ශිෂ්‍යෙයක්; කශේරුකා ව කෙළින් තියා ගන්න පුළුවන් ස්වාධීන චරිතයක්.
ඉතින් මේ තත්වය යටතේ ඔහු ට ළං නො වී ඉන්නේ කවුද ?  අපි ඔහු ගේ හුස්මට පවා පෙම් කළා: ඔහු ගේ කට හඬ ට පවා අපි ආශා කළා.  මේ ලෙන්ගතුකම දරා ගන්න බැරි වුණ පිරිසකුත් හිටියා. ඒ  පිරිස අතරේ විදුහල්පතිනියයි, තවත් ගුරුවරුයි අපි ට දොස් කීවා නොසෑහෙන්න.  'ළමයින් ගැන තදින් ඉන්නට අසමත්' යයි කියමින් අපේ සර් ව පංති භාරකාරත්වයෙන් ඉවත් කරන්න ට පවා ඔවුන් ක්‍රියා කළා.  සම්ප්‍රදායිකත්වයේ, සදාචාරයේ රෙද්දෙන් පටු- මන්දමානසිකත්වයේ හෙළුව වසා ගෙන සිටි ඔවුන් මේ ගැඹුරු ලෙංගතුකම ට බය වුණා.  පංති භාරකාරත්වනේ අපේ සර් ව අයින් කරන බව දැන ගන්නට ලැබුණා ම එදා දැනුන හුස්ම හිර කරවන තරම් වේදනාකාරී බව අදටත් අමතක වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ පිරිසට පිංසිද්ධ වෙන්න , එයාලගේ මන්ද මානසික වැට කඩොලු-සීමා-මායිම්-වාරණ-තහංචි නිසා අපේ සමීපත්වය තව තවත් දැඩි වුණා. 

පාසල් කාලය නිමා වුනා.  කාලය ගෙවි ගියා.  මගේ බොහෝ යෙහෙළියන් ඔහුගෙන් ද ඈත් වී ගිහින්.  ඒත්, තවමත් අපි අතර සමීපත්වය දුරස් වි නැහැ. ඒ වෙනුවට දැනෙන්නේ දවසින් දවස ඒ සමීපත්වයන් දැඩි වෙමින් යන බව යි. නිමක් නැති ඒ ආදරය, සප්ත මහා සාගරය තරම් ගැඹුරු යි; සුවිසල්.  ඔහු, මගේ ජිවිතයේ මට හමු වු හොඳ ම ගුරුවරයා පමණක් නොවේ; මා දැන හඳුනා ගත් උත්තරීතර ම මනුෂ්‍යයා ද ඔහු ම වේ.  මා ආදරය උගත්තේ ඔහුගෙනි.  කැපවිම යනු කුමක්දැයි කියා දුන්නේ ඔහු ය. මට කතා කරන්නට කෙනෙක් අවශ්‍ය වන ඕනෑ ම නිමේෂයක දුරකථනයෙන් හෝ ඔහු මා අසල ය.  කිසිඳු අත්වැලක් නොතිබූ මගේ දුප්පත් ජීවිතය ට අත්වැල වූයේ ඔහු ය.  ගුරු ගීතයේ මා හඳුනා ගත් ගුරුවරයා ඔහු ය. ඔහු හැමදාමත් මගේ දුයිෂෙන් වෙයි; මම ඔහු ගේ අල්තිනායි නොවුණත්.                                                               

අශාරි 'නරක' තරමට සමුද්‍රා 'හොඳ' ද ?

අද මා ඔබට කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්.  මගේ හිතේ ගැටළුවක් මතු වෙල තියෙනවා; ඒ ‘මිත්‍රත්වය‘ ගැන. 


පාසල් ජිවිතය කාලයේ ඉඳල ම මේ වෘත්තිය ජීවිතය කාලය දක්වාමත් මාත් එක්ක එකට ගත කරන යෙහෙළියන් දෙන්නෙක් ඉන්නවා.  එකට කන-බොන, දුක-සැප බෙදාගන්න, එකට ඉගෙන ගත්තු, දැන් එකට රස්සා කරන යෙහෙළියෝ දෙන්නෙක්.  එක් කෙනෙක් අශාරි; අනිත් කෙනා සමුද්‍රා.  ඇත්තට ම ඉස්කෝලෙ කාලේ අපි තුන් දෙනා අතරේ පට්ට fit එකක් තිබුණේ නෑ එහෙමට; ඒත් දැන් අපේ කාර්යාල වේලාවෙන් වැඩි හරියක් එකටමයි ගත වෙන්නේ.  ගොඩක් ළඟින් ආශ්‍රය කරන කොට, කාලයක් ගත වෙන කොට ඒ දෙන්නගේ පැහැදිලි වෙනස්කම් තියෙනවා කියල වැටහෙන්න ගන්නවා. ඒක මිනිස් ගණුදෙනු ගැන මොඩල් දෙකක් වගේ නිසා මට හිතුනා ලියන්න.

අශාරි කටකාරයි.  කටට එන දේ  කියනවා.  ගොඩක් වෙලාවට මට හිතෙනවා එයා කෙළින් කතා කරනවා කියලත්.  ඒ නිසා අවංකකමකුත් තියෙනවා.  ඒ වගේ ම හිතා නොපලා කතා කරන නිසා ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ හිත රිද්දවනවා.  අශාරිට ළඟින් ඉන්න කෙනෙක් නිසා මගේ හිතත් අනන්තවත් රිද්දවන කතා අනන්තවත් එයාගෙන් කියවිලා තියෙනවා.  ඉතින් එයාව අවුල් විදියට මතක් කරවන තුවාල කැලැල්නම් අනන්තයි, කා අතරත් වගේ.  සමුද්‍රා ටිකක් තැන්පත්.  අහිංසක ම නොවුණත් වැඩි දඟකාරකමක් නැති චරිතයක්. එයාගේ ලෝකෙට වෙලා ගොඩක් වෙලාවට එයාගේ පාඩුවේ ඉන්නවා.  ඒ නිසා එයාගෙන් අනිත් අයට වෙන හිරිහැර අඩුයි වගේ තමයි දැනෙන්නේ.                  

දැන්, මම සම්බන්ධයෙනුත් එතකොට මේ දෙන්නා වැඩ කරන්නේ දෙවිදියකට.  අශාරිට මගේ හැම ඕපදූපයක් ම දැනගන්න ඕන.  ගෙදර ඉන්නේ කව්ද, යන්නේ එන්නේ කව්ද, අහල-පහළ කව්ද, ගෙදරට යන පාරේ බල්ලෝ කී දෙනෙක්ද, ගෙදර උයන්නේ-පිහන්නේ මොනවද.....හපොයි මේ හැම දේම ! ඒ විතරක් නොවෙයි.  එයාගේ ඇස්-කන්වලට අහු නොවී, අහල-පහළක ඉන්න කාටවත් ම වගේ ම මටත් මුකුත් ම කරන්න බෑ.  අඩු ම ගානේ කැන්ටිමට ගිහින්  තේ එකක් බොන්නවත්, අඵත් perfume එකක් ගන්නවත් ! එයාගේ මේ සීමාවක් නැති සොයාබැලීම් ඇත්තටම මට වුණත් මළ කරදරයක්.  ඉතින් ගණුදෙනු නවත්වලා දාන්න තරමට එයා ව එපා වෙනවා. (ඒත්,ඒකත් කරන්න බැරි එහෙම තීරණයක් ගත්තොත් මැරෙනකම් හේතු පැහැදිලි කරන්න වෙනවනේ ඒ ගැනත්; ඊට හොඳයි මේක ඉවසන් ඉන්න එකත් කියල හිතෙනවා) කොහොම වුණත් මේ නිසා අන්තිමට අශාරි මළ වාතයක්, ඇනයක් විදියට තමයි මටත් දැනෙන්නේ.  තියුණු අපහාසාත්මක වචන කියලා අනිත් කෙනාගේ හිත රිදවන්නත් ලොකු දක්ෂකමක් එයාට තියෙනවා කියල දන්න නිසා මම අශාරි ව ගොඩක් දුරට මඟ හරින්න try කරනවා.  එයා ළඟට එන බව දැණුනොත් මටත් කළින් මගේ හිත මාරු වෙන්න පුළුවන් වෙන තැනක් හොයා ගෙන පියාඹනවා.  ඒත් සමුද්‍රා මේකෙ අනිත් පැත්ත.  ඒ නිසා එයාගේ යාළුකම මට වාතයක් වුණේ නැහැ.  එයා පෞද්ගලික තොරතුරු හාරා ඇවිස්සුවෙත් නැහැ; හිත රිදවන දේවල් plan කළෙත් නෑ.  මේ නිසා සමහර විට සමුද්‍රා ළඟ ගත කරන කාලය හිතට අස්වැසිල්ලක් වගේ වුණා.  කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙන සමුද්‍රා‍ගේ ඇසුර, අශාරිගේ ඇසුරට වඩා මාත් ප්‍රිය කළා.

ඒත් යාළුවනේ........... මේ ලෝකය හරිම පුදුමාකාරයි;  සම්බන්ධකම් ඊටත් වඩා පුදුමාකාරයි.  අනුන්ගේ ජීවිත අස්සට මහ අවිනීත විදියට කඩා පනින අශාරිගේ ගතිගුණවලට වඩා මම වුණත් ප්‍රිය කරපු සමුද්‍රාගේ උපේක්ෂාසහගත මිත්‍රත්වය යටින් තියෙන්නේ වෙන දෙයක් කියල මට දැනෙන්න ගත්තා.  මොකද ?  Ofcඑකේදී වුණත්, ගෙදරදී වුණත් මම පොඩි හරි කරදරේක වැටුණු වෙලාවක තාමත් මට උදව්වට එන්නේ සමුද්‍රා නෙවෙයි, අශාරි.  කාටත් කරදරයක් නැතිව, තමන්ගේ පාඩුවේ ඉන්න සමුද්‍රා ඒ වගේ විපත්තිකර වෙලාවකත් සුපුරුදු මුණිවත ම රකිනවා.  කවදාවත් මගේ sms එකකට, cll එකකට reply නොකරන සමුද්‍රා එයාගේ උවමනාවක් ආවාම smsclls දාන්නේHighspeed X-press කෝච්චියක් පරදන ඉක්මනකින්.  මම ofc ආවේ නැති දවසක මගේ Phone screen එකේ තියෙන්නේ අශාරිගේ මිස සමුද්‍රාගේ විමසීමක් නෙවෙයි.  මේ හැම දේම stdy කරල බලපුවාම මට වැටහෙන්නේ කාටවත් හිරිහැරයක් නැති ජීවිතයක් සමුද්‍රා ගත කරන්නේ, එහෙම දැනුවත් තීරණයක් අරගෙන නෙවෙයි කියලා.  අනිත් කෙනාට, තමන් ළඟ ම ඉන්න කෙනෙකුට වුණත් මොන මඟුලක් වුණත් සමුද්‍රාට ඒක තමන්ට අදාල නැති දෙයක් හැටියට ඉන්න පුළුවන් නිසා.  සමුද්‍රාට අනිත් අයගෙන් ගන්න දෙයක් මිස අනිත් අයට දෙන්න කිසිම දෙයක් නැහැ.  අනිත් පැත්තෙන් අශාරිට තියෙන ප්‍රශ්නය, එයාගේ අභිමානය, අනන්‍යතාවය අනිත් අය ගොදුරු කර ගන්නේ නැතිව ගොඩදාගන්න බැහැ.  ඒ නිසා එයා අනිත් අයගේ ජීවිත අස්සට මොන විදියට හරි කඩා පැනලා, මොන විදියේ දෙයක් හරි කරනවා. 
අපි ජීවත් වෙන්නේ අඩු-වැඩි වශයෙන් මේ වගේ අයගෙන් සමන්විත සමාජයක.  අපි මතුපිටින්, සරල ව දකින විදියට වඩා ඇතුලෙන්, සංකීර්ණ විදියට බැලුවා  ම සමහර විට තත්වය හාත්පසින් ම වෙනස්.  ‘හොඳ‘ අපි හිතන තරම් ම හොඳත් නැහැ; ‘නරක‘ අපි හිතන තරම් ම නරකත් නැහැ.  මට ඔන්න ඔහොම හිතෙනවා.  යාළුවනේ, කොහොමද ඔයාලට මේ වගේ දේවල් දැනෙන්නේ........?        

තිත්ත හිවල්ලු සහ රසවත් මිදි

"අරකි අඳින හැටි ! ෂික් කිසි ලැජ්ජාවක් නැහැ" 

"මේ වගේ වැඩ කරන තැනකට ගැලපෙනවද ඔහොම අඳින්න ?"
"යන විදිය ! හිතන් ඉන්නේ හරි ලස්සනයි කියල වෙන්න ඇති"
"හැටි විතරක් ! කොන්ඩේ නික්ම කොටම කොට බලු නැට්ටක් වගේ"
"බුරිය පේන්න අඳින්න පිරිමි අල්ලගන්න වෙන්න ඇති"  

මේ ආකාරයට ඈ බොහෝ සේ විවේචනයට ලක් විය. 

එහෙත්, ඈ ලස්සන ය; හැඩකාරය. ඇගේ සිහින් සිරුර, පළල් වූ උකුළ, කෙටි කොණ්ඩය, තද කළු පැහැති ඇස්, රත් පැහැ දෙතොල්, තළෙලු වටනුරු මුහුණ කාගේත් සිත් වසඟයට පත් කළේ ය.  ඉහළ ධූරයක් දැරූ ඇය බොහෝ විට එහි රාජකාරී සඳහා සිය නිල කාමරයේ රැඳී සිටියා ය.  රාජකාරී අවශ්‍යතාවයකට හෝ ඉඳ හිට ඇය සිය නිල කුටියෙන් බැහැර වන මොහොතක් වෙනුවෙන් ඒ අවට ‘රාජකාරී‘වල යෙදුනු පිරිමි කෙළ හලමින් සිටියේ ගොදුරක් ඩැහැගැනීමට මාන බලන වෘක රැළක් සිහි ගන්වමිනි.  ඇගේ හුරුබුහුටි ලාලිත්‍යයට සැඟවුණ දඟකාරකමක්  ඈ සතු විය.  එම දඟකාරකමට කවුරුත් පාහේ ආශා කළේ ය.  නමුත් කිසිවෙක් එය සෘජු ව ප්‍රකාශ නොකළේ ය.  ඈ කතා කරන විට බොබ් කට් කැපූ ඇගේ කෙටි කොණ්ඩය දෙපසට වැනෙන්නේ ය.  කතා කරන විට ඉරියව් රැසකින් මුහුණ හැඟීම්බර විය.  අනෙකුත් ගැහැණුන් මෙන් නොව ඇය සාරිය ඇන්දේ අමුතු විලාසිතාවකට ය.  ඇඟට හිර වෙන්නට ඇඳි සාරිය ඇගේ නාරි දේහයේ අලංකාරය තවත් වැඩි කළේ ය.  නාභිය ද සමඟින් වැඩි කොටසක් නිරාවරණය වූ ඇගේ බඩ දෙස බොහෝ පිරිමින් බැලුවේ කෑදර හොරැහිනි; බොහෝ ගැහැණුන් මවා ගත් පිළිකුල් ඇසකිනි.

අත්පත් කර ගත නොහැකි වූ ෆැන්ටසිය කොයි කවුරුත් පීඩනයට පත් කළේ ය.  එය ප්‍රකාශයට පත් වූයේ ඉහත ආකාරයෙනි.  පිරිමි බලා සිටියේ තව මදකින් හෝ ඇගේ සිරුර නිරාවරණය කර ගැනීමේ අපේක්ෂා දල්වා ගෙන ය; එක මොහොතක් හෝ ඈට හැකිතාක් කිට්ටු වෙන්නට මාන බලාගෙන ය.  ඒ අතරේ ම ඒ ‘රසය‘ තමන්ගේ සමීපතම සඟයා හෝ භුක්ති විඳීම ගැනනම් එකෙක්වත් පක්ෂ නොවීය.  තමන් සතු විය යුතු මේ අවධානය හා ආකර්ෂණය, විවිධ හේතු මත තමන්ට කරන්නට නොහැකි ‘මායමකින්‘  තමන්ගෙන් උදුරා ගන්නා ඇය ගැහැණුන්ගේ වෛරයට පාත්‍ර විය.  ඇය සතු ඉහළ ධූරය නොවන්නට මේ කොයි කවුරුත් එකතු වී මේ වන විටත් ඇය චප්ප කර දමන්නට නියමිත ව තිබුණි. 

ඉතින් ඍජු ව පහර ගසන්නට බැරි තැන මෙන්න මෙවැනි දැ සිදු වෙන්නට නියමිත ය ! 

දවසක් දා උදේ පාන්දරින්ම ආයතනය පුරා පැතිර ගිය කට කතාවකි.

"දවල් කාලේ රස්සාව මේක වුණාට රෑට මෙයා කරන්නේ ගණිකා වෘත්තිය ! රෑට ගෙන්වගන්න පිරිමි සමහර විට පිටත් වෙන්නේ උදේ..."

ඇය පදිංචිව සිටියේ උසස් නිලධාරීන් සඳහා ආයතනයෙන් දී ඇති නිවාස සංකීර්ණයේ එක් නිවාසයක ය.  මේ කතාව ගෙන ආවේ ‘ඇසින් දුටු සාක්ෂිකරුවෙකු‘ ලෙස පෙනී සිටි, එම සංකීර්ණයේ ම පදිංචි තවත් උසස් නිලධාරියකු විසිනි.  අනෙකුත් සියළු ම රාජකාරී කටයුතුවලට නැති තරම් වේගයකින් ද, අති මහත් උනන්දුවකින් ද උස්-පහත් වෙනසකින් තොරව කාර්ය මණ්ඩලය විසින් මෙම පුවත බෙදා ගන්නා ලද්දේ අසුචි ගොඩක් වටා සැරිසරන නිල මැස්සන් රැළකගේ උද්‍යෝගයෙනි !  නිවසට ගෙන්වා ගන්නා පිරිමින් සමඟ රෑ එළි වෙන තුරු ඇය කාමමිත්‍යාචාරයේ යෙදෙන අයුරු ගැන ‘රසවත්‘ කතන්දර හැම කෙනෙක් ම පාහේ බෙදා-හදා ගත්හ.  කතන්දරය ගෙන ආ නිලධාරියා කලක් තිස්සේ ඇය සම්බන්ධයෙන් ‘ලව්ගින්නකින්‘ පිළිස්සෙමින් සිටි බව, ලැව්ගින්නක් සේ මෙය පතුරුවා හැරි අය අමතක කර දැමූ හ; ඒ නිලධාරියා පවා එසේ කොට තිබුණි.

පුවත පැතිර ගිය වේගය අනුව එදින ම ඇයට ද මේ ගැන දැනගන්නට ලැබුණි.  ඇය උරණ වූවා ය; වහාම පොලීසියට ගොස් ඊට එරෙහි ව පැමිණිල්ලක් සටහන් කළා ය. 
මෙතැනින් එහා සිද්ධිය ගැන ද මා දන්නේ කටකතාකරුවන්ගේ පිහිටෙන් ම ය.  උස්-පහත් භේදයකින් තොර ව ආයතනයේ සේවක-සේවිකාවෝ එම කටයුත්තේ අනලස් ව තවදුරටත් යෙදුනේ මෙවැනි අදහස් පළ කරමිනි.

"පොලීසි ගියා ලු නේ ! බැනල එළවා ගත්ත ලු ! ඇත්තටම පොලීසිවලට වෙන වැඩක් නැතිවද !"
"ප්‍රශ්නයක් තිබුණානනම් මේවා ආයතනය ඇතුළෙ ම විසඳා ගන්න තිබුණ නේ"
"අර මනුස්සයා කියන්න ඇත්තේ ඇත්ත වෙන්න ඇති.  විලි ලැජ්ජාවක් නැතිව ඕවා පොලීසිවලට පැමිණිලි කරන්න යනවද වැදගත් ගෑනියෙක්නම්"
"ඔය කර ගත්තේ ගිහින්. හොඳ වැඩේ. ඔය ගෑනිට ඔහොමමයි වෙන්න ඕන"

ඇත්තට ම සිදු වූයේ කුමක්දැයි මම නොදන්නෙමි.  ඒ වැනි දේවල ඇත්ත දැන ගැනීමට වඩා අපේ සමාජය තුළ ඇත්තේ අති දැවැන්ත ඕපාදූප තොරණකින් ඇස් නිලංකාර කරගැනීමේ ඉඩකි.  ඒ තවත් ප්‍රශ්නයකි. එය මෙහි දී සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකරමි.  කටකතාවේ සඳහන් ‘චෝදනාවට‘ ඇයගේ සම්බන්ධය කුමක් වුව ද, එමගින් තමන්ට අත් වන අපහසුතාවය සම්බන්ධයෙන් ප්‍රතිකර්ම අපේක්ෂාවෙන් ගිය තැන යුක්තිය වෙනුවට ඉටු වන්නේ මෙවැනි ‘රාජකාරියක්‘ නම් ඒ තවත් කතාවකි.  එය ද මෙහි සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකරමි.  මගේ කාර්යාලයීය සඟයන්- ලොක්කන්-සොක්කන්, පිරිමින්-ගැහැණුන් සියළු දෙනාගේ ම ප්‍රතිචාරය මා තුළනම් මතු කළේ මහත් පිළිකුලකි; කම්පනයකි.  ඒත් එක අතකට එසේ විය යුතු ද නැත.  මේ අතිශය සාමාන්‍යයයි.  ලංකා පොලෙවේ අතිශය සාමාන්‍ය යථාර්තය මෙයයි. එහෙත් එය ම කම්පාවට හේතුවක් විය නොයුතු ද ?

ඈ සමඟ යහන් ගත වීමට පෙරුම් පුරමින් බලා සිටි, එහෙත් ඒ පාරමිතා පාරාජිකා වූ කල ඒ දැඩිතර ආශාව, ඉරිසියාවක් හා වෛරයක් බවට පෙරලාගෙන ඇගෙන් පලිගන්නට මාන බැලූ පිරිමින් ද, ඇය නිසා අහිමි වන තමන්ගේ ‘තැන‘ ගැන දැඩි හීනමානයකින් පෙලුන ගැහැණුන්ද ඇය කෙරෙහි දැඩි වෛරයකින් දැන් පසු වන්නේ කුහකත්වයේ නිරුවත ප්‍රදර්ශනය කරවමිනි. 

ඊයේත්, අදත්, හෙටත් මේ සමාජය ඈට දැඩි ලෙස වෛර කරනු ඇත.  ඒ මේ සමාජය හැම අතින්ම අසමත්- ඒ අසමත්බව පිළිගන්නට පවා අසමත් සමාජයක් නිසා යයි මට දැනෙයි.  ඇතැම් විට ඒ අසමත්භාවයන් අපේ උන්දැලාට ‘මාර දේවල්‘ වේ. එ විට පිස්සු ෂෝක් ය !  අසමත්භාවයන් පිටාර ගලන්නේ වෛරී ප්‍රචණ්ඩත්වයකිනි.  මේ සමාජය අස්සේ ඒ ගොන් පාර්ට් එකත් මාර ‘පිරිමිකම‘කි !

ඉතින් මෙහි දී ‘මිදි‘ වැනි භාණ්ඩ බවට පත් කර ගත් ගැහැනුන් ‘රකින-‍කෙලසන‘ වගකීම් දරණ, මනුෂ්‍යයන් වෙනුවට හිවලුන් බවට පත් වුණ පිරිමින්ගෙන් යුත්,  'එය එසේ විය යුත්තක්' බව අදහන ගැහැණුන්ගෙන් ද යුත්, අඩු දියුණු ප්‍රාග්ධනයකින් මෙහෙයවෙන මේ වැනි සමාජයන් සමාන කළ හැක්කේ මිදි තිත්ත යැයි කියන හිවලුන්ගේ සමාජයකට නොවේ ද?                

මගේ ප්‍රයිමරි ගුරුවරු සෙට් එක සහ තවත් අය

           

චූටි කාලේ ඉඳලම අපි ගොඩාක් මුණ ගැහුණ, ජීවිතයට ගොඩක් සම්බන්ධ, ගොඩක් බලපෑම් කරපු පිරිසක් නේ ගුරුවරු කියන්නේ.  මගේ ජීවිතයට වගේ ම ඔයාලගේ ජීවිතවලටත් මේ ගුරුවරු සෙට් එකෙන් ලොකු බලපෑමක් වෙන්න ඇති නේද ?  කැමතිම ගුරුවරු වගේ ම පෙන්නන්න බැරි අකමැති ම ගුරුවරු සෙට් එකකුත් ඇති නේ ඔය කාගේ කාගේත් ජිවිතවලට හම්බ වෙලා....අනේ මන්දා......ගුරුවරු මාරයි ; ශ්‍රේෂ්ටයි කීවට මගේ ජීවිතයටනම් මට හමු වෙලා තියෙන ගුරු සෙට් එකෙන් බහුතරයක්ම මාර අප්සෙට් කට්ටියක්.  මමනම්, අවුරුදු දහතුනටම ආශාවෙන් ස්කූල් ගියේ අන්තිම අවුරුදු දෙකේ තමයි.  මොකද, එතකොට ගුරුවරුත් අඩුයි; විෂයනුත් අඩුයි; යාළුවොනම් වැඩියි.  ප්‍රධනම එක තමයි දෙයියනේ කියලා අවසාන අවුරුද්දේ හොඳ ගුරුවරු සෙට් එකක් ලැබුණා.  ඒ ලෙවල්වල හොඳම පැමිණීමකුත් මට තිබුණා.  අනිත් හැම අවුරුද්දෙම සතියට දවස් දෙක-තුනක්ම කට් කරලා හොඳ වාර්තාවක් මම තියලා තිබ්බා, කාටවත් සෙකන්ඩ් නොවෙන්න ! 
හරි ; කොහොම හරි අපේ ස්කූල් එකේ ලොකු ටිචර්ස්ලා සෙට් එකක් හිටියා.  එක වසර පංතිය ගැනත් මට යන්තමට වගේ මතකයි.  පංති භාර ටිචර් ගැන කියනවානම්, එයා මාර හොඳ වගේ දැණුනා අපි පංතියට ආ මුල් දවසේ.  හරි ආදරෙන් තමයි කතා කරලා අපිව පිළිගත්තේ.  ඒත් ටික දවසත් එහෙම යන කොට එයා ළමයින්ටත් වඩා ළමයින්ගේ දෙමාපියන්ට ගොඩාක් ආදරෙයි කියලා දැණෙන්න ගත්තා.  ළමයින්ගේ අම්මටයි, තාත්තටයි ගොඩාාාක් සල්ලි තියෙනවනම්, එයා ඒ ළමයටත් ගොඩාාාාක් ආදරෙයි...! අම්මෝ ඉතින් ඒ තෝරා බේරා ගන්න ළමයින්ව හරියට හුරතල් කෙරුවා.  එයාගේ හුරතලේ සීමාවක් නෑ.  අපි වගේ අසරණයින්ට ඉතින් හුළං තමයි !
අපේ දෙක වසරේ ටීචර්ගේ විශේෂත්වය තමයි, ඇඳුම්-පැළඳුම් ලස්සනට-සුදට -පිරිසුදුවට තියෙන ළමයින්ට එයා හරි ආදරෙයි.  හොඳ සැළකිල්ලක් දක්වනවා.  අපි පුංචි වුණත් ඒක හොඳටම තේරුණා. 
තුන වසරේ ටිචර්ව මතක් වෙන කොටත්, හුස්ම හිරවෙනවා.  එයාගේ නපුරු මූණ මකත් වෙන කොටත්, බය හිතෙනවා.  එයා හිතන්නේ ළමයින්ට අල්ලගෙන හොඳටම තැළුවාම ළමයින්ගේ බුද්ධිය පහළ වෙනවා කියලා. 
හතර වසර කෙනානම් හරි හොඳයි.  ඇත්තටම එයා ළමයින්ට ආදරෙයි.  ඒත් එයා හරිම අපිරිසිදුයි; අපිළිවෙලයි.  ඒකයි එයාගේ ලොකුම අඩුපාඩුව.
පහ වසර කෙනානම් සම්පූර්ණයෙන් ම පංතිය කොටස් දෙකකට බෙදල තිබුණේ.  එයා හැම තිස්සෙම උගන්වන්නේ දක්ෂයන්ට ම විතරයි.  අනෙක් කොටස ගැන එහෙමම අමතක වෙලා එයාට.  ඒ මදිවට ළමයින්ව හරියට කොන් කළා.  සමහර සිද්ධි ගැන මතක් වෙන කොටත් දුකයි. 
ප්‍රයිමරියෙන් එහාටත් ලොකු වෙනසක් වුණේ නෑ. 
අපේ හය වසර පංති භාර ටීචර්නම් මගේ නමවත් දැන ගෙන හිටියේ නෑ.  මං වගේ ළමයෙක් ඉන්නව කියලවත් එයා දැන ගෙන හිටියේ නැහැ, මට දැනිච්ච විදියටනම්.

ඔය වගේ එතැනින් එහාට ලැබුනු ගුරුවරුත් තනිකර පක්ෂපාතීත්වය, පිළිවෙල, ආර්ථික මට්ටම්, පෞද්ගලික හිතවත්කම්, අඳුම්-පැළඳුම්, දක්ෂ-අදක්ෂබව මත තමයි ළමයින්ට ආදරේ වෙන්න, උගන්වන්න තෝරගන්නේ.  හොඳ ගුරුවරු ඇති.  ඒ අතරිනුත් සමහරු ඒ කාලේ එහෙම තෝරගත්ත ළමයින් විසින් ප්‍රතිඋපකාරයක් හැටියට හොඳයි කියලා තෝරගත්ත අයත් ඇති.  මගේ පාසල් ජීවිතයෙන්නම් හොඳයි කියල දහයක් තෝරගන්න හරි අමාරුයි ගුරුවරු.  ඒත් දාන-පිංකම්, සිල් සමාදන්, බෝධි පූජාවලින්නම් අඩුවක් නෑ.  ඒත් ශිෂ්‍යයෙක් තේරුම් අරගෙන උගන්වන්න තරම්නම් මොළයක් නැති පිරිසක් තමයි බහුතරයක් ගුරුවරු.  ඒත් තව දෙයක් ති‍යෙනවා; අතේ ඇඟිලි ඔක්කොම එක සමාන නෑ වගේ මේක සියළුම ගුරුවරුන්ට පොදු කාරණයක් නොවෙයි.  ඒත්, ඔයාලත් ටිකක් හිතල බලන්නකෝ.....             

එකෝමත් එක පංතියක කතාවක්

ඉස්කෝලේ කාලේ යාළුකම් හරිම සුන්දර අත්දැකීමක් වෙන්න ඇති ඔයාලටත්.
පුංචි කාලේ ඉඳලා මාත් එක්කත් එකට හිටපු යහළුවෝ පස්දෙනෙක් හිටියා.  සිංදු කිව්වේ, කෑවේ-බිව්වේ, රණ්ඩු වුණේ,  සෙල්ලම් කළේ එකට.  මොන දේ කළත් එකට ඉන්න තරම් ලොකු fit එකක් තිබුණා.  තරහ වුණත් සැණෙකින් වැරදි වටහා ගෙන ආයෙත් හිටියටත් වඩා හොඳින් ඉන්න පුළුවන් මාර යාළුකමක් තිබුණා.  ටික ටික ලොකු වෙද්දී පංති කැඩුණා.  අපි එකිනෙකා අළුත් අළුත් පංතිවලට වැටුණා.  සමිපකමේ පොඩි දුරස්ථභාවයක් තිබුණට යාළුකම එහෙමම තිබුණා.  අපි හිනා වුණා; විහිළු කළා; පංති ගියා එකට.  හරිම ලෙංගතුයි.  අපි තවත් ලොකු වුණා .  එකිනෙකාගෙන් තීරණාත්මක ලෙස වෙන් ‍වෙන්න අපිට සිදු වුණා.  A/Lවලින් පස්සේ අපි තව තවත් දුරස් වුණා.  msgsCalls ටික ටික අඩු වුණා.  අපි කට්ටියටම එහෙම වුණා.  අපි පාසල් සමයේ මවන් හිටපු සුරංගනා ලෝක නැති වෙලා අපිට ඇත්ත ලෝකය මුණ ගැහුණා.  දෙමව්පියන්ගෙන් යැපෙන්න පුරුදු වුන අපිට ජීවන බර දැනෙන්න ගත්තා. ඒක නිසාම රස්සාවල් කරන්න වුණා.  ලොකු වුණා ම මෙහෙම කෙනෙක් වෙනවා, අරහෙම කෙනෙක් වෙනවා කියලා අපි දැකපු හීන අපි කථා වුණා. දැන් අපි ඇත්තටම ලොකු වෙලා.  ඇත්ත ලෝකය, අපේ සුරංගනා ලෝකවලට ඉඩ දුන්නේ නෑ, ගොඩාක් වෙලාවට.  අපි බලාපොරොත්තු වුණේ එකක්; අපිට කරන්න වුණේ තව එකක්.  අපේ යාළුවෝ කට්ටිය එතකොටත් පාරතොටේ, බස් හෝල්ට් එකේ, බස් එකේ ඉඳහිට හරි හමු වුණා.  ඒත් අපි හිනා වුණා; කථා කරා. 
තවත් කල් ගත වුණා.  මට රජයේ සේවයේ අතවැසියෙක් වෙන්න වුණා.  මාත් එක්ක හිටපු තවත් යාළුවෙකුත් ඒ රස්සාවටම පැන ගත්තා.  අපේ යාළුවෝ සෙට් එකේ එක්කෙනෙකුට තාත්තා job කරන්න දෙන්නේ නෑ ලු; ඉතින් එයා ගෙදරට වෙලා ඔහේ කල්මරමින් ඉන්නවා.  තව කෙනෙක් එක එක පොඩි පොඩි රස්සාවල් කරමින් ඉන්නවා.  අපි අතරින් එකම එක්කෙනෙකුට විතරක් එයාගේ සිහිනය රස්සාවක් විදියට හමු වුණා.  එයා කැමති වුණේ Air Hostess කෙනෙක් වෙන්න.  එයාගේ ඇඟත් ඒකට හොඳට ගැලපුණා.  ඉතින් අපි අපේ සිහිනවලට තවමත් ට්‍රයි කරද්දී එයාට එයාගේ සිහිණය සැබෑ කරගන්න පුළුවන් වුණා.  ඉතින් එයා Air Hostess කෙනෙක් වුණා කීවම මටත් ලොකු සතුටක් දැණුනා.  ඒත් එයාට විෂ් කරන්නවත් මට බැරි වුණා.  මේ සුබ ආරංචිය එයා ම  කීවානම් මම ඒ වෙලේ ම විෂ් කරනවා අනිවාර්යයෙන්; මට ඒක කරන්න ඕනකම තිබුණා. මේ හිත හදා ගන්න කියනවා නොවෙයි; මට එයාගෙන් ම නැතිව වෙන වෙන අයගෙන් මේ ආරංචිය ආවාම විෂ් කරන්න ඕන කියල හිතලා, වැඩේ කල්යනවා. මතක් වෙන වෙලාවේ මොනවා හරි අඩුවක්. මගෙත් වැරැද්ද තමයි.  කොහොම හරි ඉතින් ඒකත් කරගන්න බැරි වෙලා ගියා. 
මේ ළඟදී දවසක එයාගේ තාත්තා accident එකකින් නැති වුණා.  මාත් එක්ක වැඩ කරන අනිත් යාළුවා මට ඒ ආරංචිය ගෙනාවේ.  ඒ තාත්තාව මම දන්නෙවත් නෑ. ඒත් ඒ අපේ පරණ හොඳම යාළුවෝ සෙට් එකේ එක්කෙනෙක්ගේ තාත්තා කෙනෙක්. ඉතින් පහුවෙනිදා මම අම්මත් එක්ක ගියා මළගෙදරට.  ඇත්තටම ඒ මගේ යාළුවා වෙනුවෙන්මයි.  අවුරුදු ගණනකට පස්සේ මම මගේ යාළුවා දැක්කේ.  එයා ගොඩක් සුදු වෙලා; ලස්සන වෙලා.  ඒ වෙලාවේ මට ලොකු සතුටක් දැණුනා. මට ඕන වුණා කතා කරන්න.  ඒත් එයා අපිව දැකලා එන්නං කියා ගෙන එතනින් ගියා.  ඒ අතරෙම එයාගේ ඔෆීස් එකේ කියන්න පුළුවන් තව කට්ටියක් ආවා.  එයා ගියේ ඒ අය ළඟට.  මම අම්මත් එක්ක එහා පැත්තට වෙලා ඉඳ ගෙන බලා හිටියා.  එක වචනයක්වත් කතා කරන්න මගේ යාළුවා මම ළඟටත් ඒවිද කොයි වෙලාවේ හරි...?  ඇයි දෙයියනේ අපි ආවේ එයා වෙනුවෙන් කියලා එයාට තේරෙන්නේ නැද්ද ?  නැත්නම් තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැද්ද ?  නැත්නම් වෙන මොකක් හරි තරහක්වත්ද ?  පස්සේ මට තේරුණේ එයාගේ අළුත් ofc යාළුවෝ ඉන්දැද්දී අපි එක්ක කතා කරන එක එයාට මදිකමක් වගේ දැනෙන්ත් ඇති කියලා.  එකිනෙකා හඳුන්වා දෙන වෙලාවකදීවත්, එයාට මාව මතක් වුණේ ම නෑ.  මාව විතරක් නොවෙයි; ඒ වෙද්දීත් බඩ බැඳ ගෙන වගේ මළගෙදර පදිංචි වෙලා හිටපු මගේ අනිත් යාළුවාවත්.....  මේ අර අල්ලන සෙල්ලම් කරපු මගේ යාළුවාමද ? Teachersලට හොරෙන් දිවුල් අච්චාරු කාපු යාළුවාමද ?  ගණන් ඉගෙන ගන්න එකට පංති ගිය යාළුවාමද ?  මට අදහා ගන්න බෑ.  මට දුකකුත් දැණුනා; ලැජ්ජත් හිතුනා.  අම්මට මොනවා කියන්නද ?  අපි නැගිට්ටා.  එයා ළඟට ගියා. අපි යනවා කීවා.  අම්මත් කීවා  යන්නම් දුව කියලා. “Thnkz Aunty” එච්චරමයි එයා කීවේ; ඒකත් අම්මට විතරයි. 
මට ගොඩාක් දුකයි.  ඒත් එයා ඒ විදියට වෙනස් වෙලා කියලා හිතන්න ඊටත් වඩා දුකයි. නෑ; ඒක එහෙම වෙන්න බෑ.  මගේ හිත සංරක්ෂණ ප්‍රයෝග හොයා ගෙන ගියා. එයාට තාත්තාගේ මරණය නිසා ගොඩක් දුක ඇති.  ඒ නිසා කතා කරගන්න බැරිව ඇති.  ඒත්, එතකොට අනිත් අයත් එක්ක කතා කළේ ?  මොළේ, හිතට යුද්ධ ප්‍රකාශ කරනවා.  මට උත්තර නෑ.  අවසන් කටයුතු දවසේ යම්දෝ- නොයම්දෝ කියලා හිත හිතා ඉන්න කොට තවත් යාළුවෙක් තනියම යන්න බෑ කිය කියා වැළපුනා. ඒත් මට ඒ තරම් හිතක් නෑ යන්න. අන්තිමට එයා එහෙම වෙනස් වෙලා නෑ කියලා හිත මට ඒත්තු ගන්වන්න try කරද්දී මම එකඟ වුණා, එයත් එක්ක අවසන් දවසෙත් යන්න.
ඔන්න ඉතින් අන්තිමට මම ගියා.  ඒ වැඩ ටික ඉවර වුණාට පස්සේ මම ගෙදරටත් ගියා.  ඒ, එයා එක්ක කතා කරන්න ඕන නිසා වචන කීපයක්වත්.  මම ගියා එයා ළඟට.  එයා යද්දී, මම එයාගේ අතින් අල්ලලා කතා කළා.  අත අහකට අරගෙන යන්නම් කියා ගෙන එයා එදත් තරප්පු පෙළ නැඟල අළුත් යාළුවන් අතරට ගියා.  මට දැණුනේ මම ළඟ හෙනයක් පිපිරුවා වගේ.
ඔව්; එයා වෙනස් වෙලා. එයාගේ මුහුණ, ඇඳුම්-පැළඳුම් විතරක් නොවෙයි; එයා හිතන-පතන විදියත් ගොඩාක් වෙනස් වෙලා.  ඉස්කෝලේ කාලේ අපි හිටියේ එකම පංතියක තමයි. ඒත් දැන් අපි වෙනස් පංතිවල. මම ඉස්සරහ පුපුරපු හෙනයේ එළියෙන් මට මේ දේවල් පේන්න ගත්තා.