Monday, October 10, 2016

ලෝකය ගැහැණු ළමයා ගේ දිනය සමරද්දී.........




 මේ ලෝකෙට මම බිහි වුණේ අනූව දශකයේ එක අවුරුද්දක.  මගේ අක්කා මට වඩා අවුරුදු ගාණකින් වැඩිමල්.  අක්කගෙන් පස්සේ ඒ අවුරුදු ගාණක් තිස්සේ මගේ අම්මත්, තාත්තත් ගොඩක් බලාපොරොත්තුවෙන් ඉඳල තියෙන්නේ ඊළඟට පිරිමි ළමයෙක් හම්බ වෙයි කියල ලු.  ඉතින් මම ඉපදිල තියෙන්නේ ඒ දෙන්නගේ ඒ බලාපොරොත්තු සුන් කරගෙන !  ඒ ගොල්ල අවුරුදු ගාණක් බලා ගෙන හිටපු වස්තුව මම නෙවෙයි.....!  මේ මෑතකදීත් අම්මා කියනවා ම ඇහිල තියෙනවා, මම ඉපදිලා සතියක්-දෙකක් යන තුරු ම තාත්තනම් හිටියේ සතුටකින් නෙවෙයි කියලා.  ඉපදුන පුංචි ම බබා කාලේ දුකක් දැනෙන්න තරම් දැණීමක් නැති වුණත්, මේ බව තේරෙන කොටනම් දැණුන දුක මෙච්චරයි කියල කියන්න බැහැ.  ඉතින් මම ගැහැණු දරුවෙක්.  ඒක මගේ දෙමව්පියන්ගේ අවාසනාව ද ? මගේ අවාසනාව ද ?

කොහොම හරි මම ඉපදිලා අවුරුදු දෙකකට පස්සේ අම්මගෙයි, තාත්තගෙයි දෙන්නගේ බලාපොරොත්තු ආයෙමත් ආලෝකමත් වුණා; මට මල්ලියෙක් ලැබිලා.  වෙන විදියකට කීවොත් අම්මටයි,තාත්තටයි පිරිමි දරුවෙක් හම්බ වෙලා.
එක දරුවෙකුගේ ඉපදීම දුකකුයි, තව දරුවෙකුගේ ඉපදිම සතුටකුයි පරස්පර විරෝධී විදියට එක ම දෙමව්පියන් ට ඇති වෙන්නේ කොහොමද !  ඒ වෙනස ඇති කරල තිබුණේ මල්ලිගෙයි, මගෙයි ලිංගිකත්වයන් දෙකේ වෙනසෙන්. ඒත් ඒක එහෙම වෙන්නේ කොහොමද ?  මට අවුරුදු පහක්-හයක් වෙද්දී මම කල්පනා කරන්න ගත්තා.  ඒත් මට උත්තරයක් හොයා ගන්න බැරි වුණා.  දුකක්-වේදනාවක් විතරක් ඉතිරි වුණා.  ඒක ඇත්තට ම එහෙම සිද්ධ වුණාද; එහෙ නැත්නම් ඒ මට දැණුන විදිය ද කියල අදටත් මම දන්නේ නෑ.  ඒත් ඒ මට දැණුන විදියනම්, ඇයි මට එහෙම දැණුනේ ?  මට හැම තිස්සෙ ම පෙණුණේ අම්මලා මට වඩා මල්ලිට ආදරය කරන බව.  මට වැඩිය හුරතලයක්,අගය කිරීමක්මල්ලි ට ලැබුණා; තාමත්.  දැන්නම් ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතිව වගේ ඉන්න මට පුරුදුයි.  ඒවා ගැන සොයා බලන්නේ නැතිව ඉන්න මට පුරුදු වෙලා.  ඒත්, පොඩි කාලේනම් එහෙම දේවල් දැනිලා අඬල තියෙන වාර ගණනුත් අනන්තයි.  ඒ එක්ක ම මගේ හිතට දැණුන ඊර්ෂ්‍යාව,  වෛරය අනන්තයි.  ඒ වෙලාවටත් ඒ ගැන තරවටුවක් ලැබෙනවා විනා, ඒ ඇයි කියල හොයල බලන්න අම්මටත්, තාත්තටත් බැරි වුණා.
පොඩි දවස්වල මටත් හිතුණේ මේක මගේ ප්‍රශ්ණයක් විතරයි කියලා. ගොඩක් වෙලාවට මේක අපි තේරුම් කරගන්නේ ආදරය අපේක්ෂා කරන දෙන්නෙක් අතර ඇති වෙන තරඟකාරී, නැත්නම් ඊර්ෂ්‍යාත්මක හැඟීමක් විදියට; ඒත් ඒ එච්චරම ද?  දැන් මට තේරෙනවා මෙතැන ගැහැනු-පිරිමි කියන ලිංගිකත්ව ප්‍රශ්නයකුත් තියෙනවා කියලා.

ගැහැණුකම ඇතුළේ මම වගේ ම අම්මත් පීඩාවට පත් වෙනවා.  ගැහැණුකම ශාපයක් කියල දකින්න මේ නිසා අම්මට ලේසියි.  මම උපදින කොට මම තුළින් ගැහැණු ළමයෙකු අපේක්ෂා නොකරන්න අම්මට මේකත් හේතුවක් වෙන්න ඇති.  ගැහැණු ළමයින් පරිස්සම් කරන්න ඕන; රැක බලා ගන්න ඕන; පිටටයි අන්තිමට දෙන්න වෙන්නේ; කොයි අතින් බැලුවත් ඵලදායිතාවය අඩුයි.  මෙන්න මෙහෙමයි නේ අපේ සමාජවල හිතන්නේ.  ගැහැනු ළමයාගේ එකම වටිනාකම තමයි පිරිමින්ට සහායක උපකරණයක් වීම. මේ අනු ව බැලුවා ම.  ළමයි හදල දෙන එක; උයල-පිහල දෙන එක; ගෙවල්-දොරවල්-රෙදි-පෙරෙදි අස්-පස් කරල දෙන එක....ඔන්න එය වගේ ලට්ට-ලොට්ට ගොඩක් ගැහැණු ළමයාගෙන් අපේක්ෂා කරනවා.  දැන් අපේ අම්මා මේක තමන්ගේ ගැහැණුකමේ උරුමයක් විදියට නිකම්ම භාර අර ගෙන තියෙද්දීමම ඒක ප්‍රශ්න කරනවා.  මේක තමයි අම්මයි, මායි අතර තියෙන පරම්පරා වෙනස !
ඔන්න අම්මයි-තාත්තයි එකට ගමනක් ගිහින්, ගෙදර එනවා.  දෙන්නට ම එකම විදියට මහන්සියි.  තාත්තාගෙට ගොඩ වෙන්නේ ම තමන් එක්ක ආපු අම්මගෙන් තේ එකක් ඉල්ල ගෙන. මේකේ කිසිම අමුත්තක් අම්මට දැණෙන්නෙත් නෑ.  ඒත් එයාට කේන්තියි.  ඉතින් බැන බැන තේ හදල දෙනවා. ඊට පස්සේ උයන්න පිහන්න පටන් ගන්නවා.  ඊට පස්සේ අස්-පස් කරන්න ඕන. ගැහැණු වෙලා උපන්න ම එහෙම කරන්න ඕන ලු; ඒත් ඒ ඇයි කියල ඇහුව ම ඒක පැහැදිලි කරගන්න කාටවත් ම බැහැ.  ආදරය, යුතුකම කියන්නේ ඒකටයි කියල තව විකාරයක් පටලව ගන්නවා.  එහෙම නොවුණා ම පවුල් වල ප්‍රශ්න ඇති වෙනව ලු.  හි හි.....! (ඉතින් ඕනැම පීඩාවක් දරා ගෙන ඉවසගෙන හිටියම ප්‍රශ්ණයක් නෑ තමයි පීඩාව පවත්වගෙන යන අයට !)  මේවා පුද්ගලික ප්‍රශ්න හැටියට අපේ වගේ නොදියුණු සමාජවල තේරුම් ගන්නේ.  ඒ නිසා විසඳ ගන්න වෙන්නෙත් හොඳට ම දුර්වල කරල තියෙන තනි තනි ගැහැණුන් ට.  ඒ වගේ පසුබිමකදී අම්ම වගේ ගැහැණියක් මේ කියන උරුමයේ කරුමය පරාජය කරන්න අසමත් වෙනවා.  ඉතින් එයා ඊළඟට බලන්නේ මේ කරුමය උරුමයක් හැටියට තමන්ගේ දෝණිටත් පටවන්න.  තාත්තා ඒක එහෙම කරන්න ඕන කියල හිතන තැනට වඩා වෙනස් ව නමුත් අම්මා ඒ වගකිම තමන්ගේ අතට ගන්නේ මෙන්න මෙතැනින්.  ඉතින් එයා මාවත් ඒ වැඩවලට පුරුදු කරවන්න හිතනවා.  මම උයන්න-පිහන්න උදව් වෙන්න ඕන; ගේ අස්-පස් කරන්න ඕන.  ඇයි; මම ගැහැණුළමයා නිසා. මේ හැම දේකින් ම මල්ලී නිදහස්.  ඊළඟට එයා කොයි තරම් රෑ වෙලා ගෙදර ආවත් ලොකු අර්බුදයක් වෙන්නේ නැහැ; හැබැයි මම වෙනදට වඩා ටිකක් පරක්කු වුනොත් ඒ වෙලාවේ ලෝක විනාශය සිද්ධ වුණා වගේ තත්වයක් මතු වෙනවා අපේ ගෙදර !    මල්ලි එහෙම ආවොතින් විරෝධය පල කෙරෙනනේ මුනිවත රැකීමෙන්.  ඒත් ඒ වගේ වෙලාවක දී ගෙදර බල්ලා ට වුණත් මට බැනීමට අවශනම් බුරන්න ට ඇති අයිතියට මා ගරු කළ යුතුයි කියලයි හැමෝම හිතන්නේ.  පෙරලා ප්‍රශ්න ඇසීමත් මහා පාපයක් වෙනවා. මොකද එකටෙක කියන එක ගැහැණුකමට කොහොමටත් නොසුදුසුයි ලු !

අඳින්න-පළදින්න, කන්න-බොන්න, කතා කරන්න, හිනා වෙන්න, බනින්න කොල්ලෙකුට නිදහසක් තියේනම්, කෙල්ලෙක් ට ඒක නුසුදුසු වෙන්නේ කොහොමද ?  හමේ පාට මොකක්ද, කතා කරන භාෂාව මොකක්ද වගේ කරුණු උඩ මනුෂ්‍යයන්ට අයිතිවාසිකම් අඩු-වැඩ වෙන්නේ නැත්නම් ලිංගිකත්වය උඩ එහෙම වෙන්න ඕන කියලා හිතන පදනම මොකක්ද ? අනිත් තැන්වල සමානත්මතාවය ගැන බෙරිහන් දෙන අයත් මේ කියන ලිංගිකත්වයේ තැනට ආවම වෙව්ලන්න පටන් ගන්නේ ඇයි ?

සමහරු කියනවා, මේ ඔක්කොම ගැහැණුන්ගේ ආරක්ෂාවට ලු ! කාගෙන්ද ගැහැණුන් ව ආරක්ෂා කරන්න තියෙන්නේ ?  පිරිමින්ගෙන් ම නේ ද? මොකෝ, කැලෑ බිඳ ගෙන අලි ඇත්තු- සර්පයෝ එන්නේ නෑ නේ ගැහැණුන් ව බිලිගන්න ! එහෙනම්, ගොදුර බවට පත් වෙන ගැහැණිය ව ගෙවල් මුල්ලේ කොටු කරල දානවා වෙනුවට මේ සමාජයට කරන්න තියෙන්නේ තමන්ගේ පිරිමි සත්තු ටික ගෙවල් ඇතුළේ කොටු කර ගන්න එක.  එතකොට ඉතින් මේ පිරිමි සමාජය කල්පනා කරන විදියට කිසි ගැහැණියකට කිසිම අනතුරක් වෙන්නේ නැහැ නේ. දැන්වෙලා තියෙන්නේ මේක පටලවා ගෙන අනතුරු ඇති කරන්නා, වැරදිකාරයා, දූෂකයා එළියේ නිදහසේ තියා ගෙන, පීඩිතයා දොරගුලු ලා සිර කර තැබීමයි.  මේ තත්වය රැක ගෙන ඉන්න පිරිමි ඔළුගෙඩි ඇති ගැහැණු-පිරිමි කවුරුත් මේ ගැන හිතා බැලුවොත් ටිකක් මොළේ ඇති විදියට වැඩ කරගන්න පුළුවන් වෙයි.  හි හි....!

ඉතින් මුළින් කියා ගෙන ආපු විදියට මේක මගේ මගේ අම්මගේ වරද නොවෙයි.  එයාටමේක පටවපු එකක්.  ඒ පටවලා තියෙන්නේ තාත්තා නෙවෙයි; මල්ලිත් නොවෙයි.  ඒක අපේ සමාජයේ නොදියුණුකම ඇතුළේ සංස්කෘතියෙන් පැටවුණ එකක්.  මේක මගේ අම්මගේ-තාත්තගේ පුද්ගලික ප්‍රශ්නයක් කියලා පටලව ගන්න එපා.  කුහක නැතිව බැලුවොත් අපේ මුළු සමාජයෙ ම මේ ප්‍රශ්නය තියෙනවා.   දියුණු විදියට මනුෂ්‍ය සමාජයක් හදා ගන්න නම් අපි මේ යල් පැන ගිය පුරුෂාධිපත්‍යය වගේ කුණු ගොඩවල් ඒවාට අයිති බක්කිවලට ම යොමු කරන්න දැණුවත් තීරණයක් ගන්න වේවි.  

No comments:

Post a Comment