Friday, October 7, 2016

මරණ දඬුවමෙන් අපරාධ මරා දැමිය හැකිද ?

පුංචි සේයා....., කඳුලක සේයාවක් පමණක් හදෙහි ඉතිරි කොට මැකී ගොස් අවසාන ය.  කඳුලක සේයාවක් ඉතිරි කර ගියේ ඒ මල් කැකුළ පමණක් නොවේ.  තවත් බොහෝ මල්කැකුළියන්, අහිංසකාවියන් පාපතරයන්ගේ ගොදුරු බවට පත් වී මුකුලිත වී ගියේ ය.  සේයා ට මෙන් ම යාපනයේ විද්‍යාට ද අත් වූයේ මෙවන් ඉරණමකි.  එදා උතුරේ මිනිස්සු පාරට බහිමින් ඒ අහිංසකාවිය වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටියෝ ය.  අද දකුණේ මිනිස්සු සේයා වෙනුවෙන් යුක්තිය ඉල්ලති.  මිිනිසුන් අපරාධවලට එරෙහි ව පාරට බැසීම සාධාරණ ය; යුක්තිය ඉල්ලීම සාධාරණ ය. 


නමුත් යුක්තිය වෙනුවෙන් ‘මරණය‘ ඉල්ලා සිටීම සාධාරණ ද?

මෙවන් ලේ කකියන අපරාධයන් දකින විට, මෙවන් දරුවන් පාපතරයන්ගේ අතින ඝාතනය වන විට අපරාධකරුවන්ගේ මරණය ප්‍රාර්ථනා කරන හැඟීමක් මනසෙහි මතු වීම තේරුම් ගත හැක.  ඕනැ ම මිනිස් හදවතක් තුළ එවැනි හැඟීමක් ඇති විය හැක.  මට ද එසේ දැණුන අවස්ථා ඇත. 

“ඒ පාහරයා එල්ලා මැරිය යුතුය“
“ඒ පාහරයා ගල් ගසා මරා දැමිය යුතු ය“

සේයාගේ මරණයත්, තවත් එවැනි බොහෝ මරණත් දකින විට ඒ ඇති වන හැඟීම සාමාන්‍ය නමුත් අපරාධකරුවාගේ මරණයෙන්, අපරාධ මරා දැමිය හැකි ද ? නීති විරෝධි මරණයකට විසඳුම් පිළිතුර නීතියට අනූව තවත් මරණයක් ද? එවැනි නීතියකුත්, අවනීතියකුත් අතර පැහැදිලි බෙදුම් රේඛාවක් ඇඳ ගන්නට හැකි කිසිවෙක් අපි අතර සිටින්නේ ද ?  මිනිස් සමාජයක් ලෙස අප විසින් අපරාධ වැළැක්විමට සොයා ගත් හොඳ ම විසඳුම මෙය ද ?  අපරාධකරුවාගේ මරණය විසින් ඇති කරනවා යයි අපි බලාපොරොත්තු වන ‘බිය‘, අපරාධ වැළැක්වීමෙහි ලා කොයි තරම් සාර්ථක ද ? 

අවසාන වශයෙන්, අපරාධ වැළැක්විම සඳහා සැබෑ විසඳුමකට එළැඹෙන්නේ නැතිව, මෙවැනි විසදුම්වල එල්ලී යෑම, අපරාධ මර්දනයට නොව වර්ධනයට ම හේතු වන්නක් නොවේ ද ?  මරණ දඬුවම සාර්ථක විසඳුමක් නොවන්නේ නම්, එය ක්‍රියාත්මක කිරිම මගින් අපි ඇත්ත වශයෙන් ම කරනුයේ ඒ අපරාධයන් තවදුරටත් තහවුරු කිරීමක් ම නොවන්නේ ද? මම යළි යළිත් සිතා බැලුවෙමි; තර්ක-විතර්ක කළෙමි. 

‘උපන්ගෙයි අපරාධකරුවෝ‘ යයි පිරිසක් නැත.  අපරාධවලට මුල් වන බීජයන් ඇත්තේ කොහේද ? ඒවා සොයා, ඒවා විසඳීම හැර, අපරාධකරුවා මරා දැමීම විසඳුමක් නොවේ යයි මට සිතේ.  හේතු-ඵල න්‍යාය ටොන් ගානට දන්නවා යැයි කියන මේ මහා සමාජයට මෙය වැටහෙන්නේ නැත්තේ ඇයිදැයි මට නොතේරේ.  මරණයට මරණයක් මගින් පිළිතුරු ඇතැයි අපට උගන්වා ඇත්තේ කොතනින් ද?  කළ යුත්තේ අපරාධවල මුල බීජ සොයා, ඒවා මුලිනුපුටා දැමීම ම නොවේ ද? 

‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය‘ යයි අපි විසින් පාරම් බා ගන්නා මේ දූපතේ පොළොව සරුසාර වී ඇත්තේ ආගමානුකූල, විනයානුකූල, ශිෂ්ඨසම්පන්න මල්ඵල ගන්වන බීජයන්ගෙන් නො ව, අසික්කිත, හිරිකිත, පාපකාරී, ජඩ ක්‍රියාවන් හි බීජයන්ගෙනි.  එසේනම් සමාජයක් වශයෙන් අප කළ යුත්තේ ඒ අස්වැද්දෙන බීජ සොයා, ඒවා විනාශ කර දැමීම ය. 

බටහිරයන්ට සංස්කෘතියක්, සදාචාරයක් නැති බව කියමින්, උන් මහ අසික්කිත-වනචර ජාතියක් යයි කියමින්, අපි එහෙම නෙවෙයි කියන මේ ‘මුතු ඇටයේ‘ පාරක් පාරක් ගානේ, හංදියක් හංදියක් ගානේ වෙන්නේ හිරිකිතයක් නැති මිනිමැරුමක් ය; ස්ත්‍රීදූෂණයක් ය; මංකොල්ලකෑමක් ය.  මේ ලියන තත්පරයේ ද කොහේ හෝ තැනක ‘ඒවාට ඉඩක් නැතැයි‘ කියන මේ දූපතේත් එසේ වෙන බැව් රහසක් නොවේ. 

මේ කියන සංස්කෘතිය අවුරුදු දෙදහස් පන්සියයකට වඩා ඉපැරණි ලු.  ඉතින් අපට එයින් දැන් උරුම වී ඇත්තේ මොනවාද ?  මේ අපරාධවලට පසුබිමේ ඇති කුහකකම මේ කියන මහ ලොකු සංස්කෘතියේ ලොකු ම දායාදය නොවේ ද ? මට එහෙම දැනෙන්නේ ඇයි ?  අතිශය සාමාන්‍ය දේවල්, ‘මහා අභිරහස්‘ බවට පත් කළ විට ඒවාට නැති වටිණාකමක් ආරූඪ වෙයි; තියෙන වටිණාකම යට යයි.  බොහෝමයක් අපරාධවලට මුල් වී ඇති ලිංගිකත්වය සම්බන්ධයෙන් මේ මහා සංස්කෘතියෙන් කර ඇත්තේ එයයි.   ඉතින් අපරාධවල මුලබීජය, මේ අපරාධවලින් වැනසෙනවා ය කියන සංස්කෘතිය ම නොවේ ද?    මටනම්, මේ උලව් සංස්කාතිය රැකිමට වඩා මේ අපරාධවලින් වැනසෙන ජීවිත ආරක්ෂා කරගැනීම, ජිවිතය සතු නිදහස ආරක්ෂා කර ගැනීම මිලියන වාරයක් වටී. 

ලිංගිකත්වය සම්බන්ධ අපරාධ වැළැක්විමටනම් කළ යුතු වැදගත් ම දේ ලිංගිකත්වය ගැන විධිමත්-අවිධිමත්- නොවිධිමත් හැම අතින් ම පරිනත- උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීම ය.  ළමුන් ට පමණක් නොවෙ, වැඩිහිටියන්ට ද එය අවශ්‍ය වේ.  දන්නවා යයි බකපණ්ඩිතකමට සිතා සිටියා ට අපේ වැඩිහිටි සමාජය මේ ගැන දන්න ඉටිගෙඩියක් නැති බව සිදු වෙමින් තියෙන දේවලින් උඩින් ම හෙලිදරව් වෙයි.  ඒකත් හරියට වයස පිරුණා ම ඡන්ද බලයට ලැබුණ සුදුසුකම වගේ ය.

ලිංගිකත්වයේ ඇති අරුමබව නැති කොට, එය සාමාන්‍ය දෙයක් බවට පත් කළ යුතු ය.  දෙමව්පියන් ඒ ගැන අවබෝධයකට ගෙන ආ යුතුයි.  ඒ සඳහා ගුරුවරුන් පුහුණු කළ යුතුයි.

එසේ නොකරන තාක් මේ වැරදි වැඩවලට වැට බැඳිය නොහැකි වනු ඇත.  එල්ලුම් ගස් දසදහසක් ක්‍රියා කළත් ප්‍රතිඵලය මෙය ම වනු ඇත. 

දැන් අපි මෙය අපේක්ෂා කරනුයේ මේ රටේ පාලකයන්ගෙනි.  උන්ව පාර්ලිමේන්තුවට යැව්වේ අපේ හඬ නියෝජනය කරන්නට ය.  ඒත්, ඒ හරක් හිතා ඉන්නේ උන් රජවරුන්ට විවිධාකාරයේ සර්විස් සපයා දී , නිලමේකම් ගත් උන් ලෙස වගේ ය.  ඉතින් ඒකට හරියන්නට උන් ‘රජෙක්‘ ගැන ද මවා ගනිති; ඒ පාර්ට් එකට ඇදගන්නා එකා ද ඒ පාර්ට් එක හරියට ම කරන්නට වග බලා ගනී.  ඉතින් බටහිරයන්ට වැනි දියුණු පාර්ලිමේන්තුවක් අපට අහිමි ය.  මේ ඔක්කෝට ම හරියන්නට රටේ ඡන්ද බලය හිමි මහජනයාගෙන්  සැළකිය යුතු පිරිසක් ද ලක්ෂ ගණන් ඇති හෙයින් මේ වැඩ සිදු වෙන්නේ වැඩි බාධාවකින් තොරව ය.  ඉතින්, හරක්ටත් අපහාසයක් ම වන තරම්, තණකොළ ද නොකන මෙවැනි හරක් සමාජයකින්, හරක් පාලකයන්ගෙන් අපට මෙවැන්නක් අපේක්ෂා කළ හැකි ද? බැරි යයි කියා උන්ට පාඩුවේ ඉන්නට ද දිය නොහැක.  අපේ සල්ලි ය! අපේ ජිවිත ය ! බලය හා වගකිම උන් අත ය !

අනිත් අතින් මෙය පාලකයන්ට පමණක්මත් කළ හැකි දෙයක් ද නොවෙයි.  සමාජය මෙහෙයවන, මේ අපරාධවලට ද සැළකිය යුතු වගකිමක් දැරිය යුතු ආගමට ද මේ ගැන නික්ම පැත්තකට වී ඉන්නට ඉඩ දිය නොහැකි ය.  නිකම් පැත්තකට වි ඉන්නවාටත් වඩා දරුණු දෙයකි දැන් එතැනින් වන්නේ.  වෙනස පටන් ගත යුත්තේ එතැන ඉඳන් ම ය. 

සුචරිතවත් ලංකාවක් උදෙසා එල්ලුම් ගහේ පිහිට පතන පිරිස අතුරින් වැඩි දෙනා බෞද්ධයන් බව පෙනෙයි.  එහෙත් බෞද්ධයන් පමණක් නොවේ.  එසේ වුව ද, මා කුඩා කාලයේ සිට ම හොඳින් ම දන්නා කරුණු සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් ඇත්තේ බෞද්ධ ඉගැන්වීම් තුළ නිසා, බුදුන්ගේ හා පන්සලේ ඉගැන්වීම් අතර වෙනස නිතර මා අත්විඳින්නක් නිසා, ඒ ඇසුරෙන් යමක් කියන්නට උත්සාහ කරන්නෙමි. 

අපේ බෞද්ධයෝ දැන් හරිම සක්‍රීය ය.  උදේ හවස පිරිත් අහන, බෝධි පූජා පවත්වන, පන්සිල්-අටසිල් ගන්නා සැදැහැවත් ජනතාවකි.  එහෙත් කුමන මොහොතක හෝ ඔවුන් ට බුදුන් ව ඇසී ඇත් ද?   අපරාධ වැළැක්වීමට දඩුවම් කිසිම උදව්වක් නොකරන බව සූත්‍ර පිටකයේ කූටදත්ත සූත්‍රය පෙන්වා දෙයි.  ප්‍රමාණවත් ආදායමක් ඇති විට මිනිසුන්ට සොරකමට, බොරු කිමට, හිංසනයට යොමු වීමට හේතුවක් නැති බව එය පවසයි.  එවිට සාමකාමී රටක් සෑදෙන බව ඒ මගින් පෙන්වා දෙයි.  ලිංගික අපරාධ සම්බන්ධයෙන් මේ අදාල වන්නේ කෙසේදැයි කෙනෙක් ඇසිය හැක.  බැලු බැල්මට සම්බන්ධයක් නැති බව පෙනුන ද, ප්‍රමාණවත් ආර්ථික වර්ධනයක්, හැම අංශයකම වර්ධනයකට මඟ පාදන බව අනුවනම් එහි ඍජු සම්බන්ධයක් ඇත.  බොදුනු යතිවරුනි, මේ ටිකත් දෙසනු මැනවි; බොදුනුවනි, ඒ හාමුදුරුවන්ගේ, මේ හාමුදුරුවන්ගේ නොව බුදුහාමුදුරුවන්ගේ බහටත් සවන් දෙනු මැනවි; තේරුම් ගන්නට තැත් කරනු මැනවි; ඒ අනූව ක්‍රියා කරනු මැනවි.  අනෙක් ආගමිකයන්, නිර්-ආගමිකයන් කාටත් මෙසේ ක්‍රියා කරන්නට පුළුවන.  දැනට ඒ වෙනුවෙන් පුරෝගාමිත්වය දරන්නන් වෙතොත් අගය කළ යුත්තෙමු; දිරි දිය යුත්තෙමු.

සේයා....ඒ අහිංසක සමනළිය මරා දමනු ලැබිය; කෙලසා, හප කොට මරා දමනු ලැබීය.  අපි කවුරුත් අඩු-වැඩි වශයෙන් වුවත් ඊට වග කිව යුතු නොවෙමු ද?  ඒ සේයා ගැන පමණක් නොවේ.  එසේ විනාශ කර දමනු ලැබූ තවත් අය ද වෙනුවෙනි;  තව මොහොතකින් විනාශවෙන්නට ඉඩ හැර ඇති තවත් අය වෙනුවෙනි. 

ඒ වැළැක්වීමට අපට ඇති මඟ එල්ලුම් ගසේ නැති බවත්, එල්ලුම් ගස ඇත්ත විසඳුම මඟ හැරීමක් පමණක් බවත්  තේරුම් ගෙන අපේ ඇත්ත වගකීම ඉටු කරමු.                                  

No comments:

Post a Comment