Sunday, October 16, 2016

සමහරුන්ට අනුව වැරැද්ද ‘මනුස්සකම‘ ලූ !

සිකුරාදාවේ මා කාර්යාලයේ රැඳී සිටිනුයේ උදේ වරුව පමණි.  මගේ කාර්යාලයීය යෙහෙළිය වැඩ ආරම්භ කරනුයේ හවස් වරුවේ ය. ඇය විසින් විස්තර කෙරෙන මෙකී සිදුවීමට ඇය ට මුහුණ පාන්න ට වුයේ එවැනි සිකුරාදාවක ය.  එවැනි ‘සිකුරාදා’ වල් අප ඕනෑ ම අයෙකුට ඕනෑ ම දවසක එළැඹිය හැකි බැවින් මේ අත්දැකීම බෙදාගන්නට මම සිතුවෙමි.       

එදින ඈ වැඩ කරන අංශය වෙත පැමිණෙන විට ඒ මොහොතේ එහි සිට ඇත්තේ වයස අවුරුදු හතලිස් නවයක් පමණ වන මැදි වයස් නිලධාරියකු පමණි.  බොහෝ පිරිමින් සාමාන්‍යෙයන් රහසින් දක්වන හැසිරීම්, එළිපිටම දක්වන්නට ගොසින් ප්‍රසිද්ධියක් අත් කර ගත් මේ පුද්ගලයා මෙයට පෙර අවස්ථා ගණනාවක දී මගේ මිතුරියගෙන් බැණුම් අසා ගත් අයෙකි. එහෙත් ඔහුගේ චර්යා රටාවේ වෙනසක් තවමත් දක්නට නැති හැඩකි.  මගේ මිතුරිය ද ඇයගේ සැකයට හේතු වන බැල්මකින් පමණකුදු වහා කෝපයට පත් වන්නා වූ, නිරන්තරනේ ම පිරිමින් දෙස සැකයෙන් යුතුව බලන චරිතයකි.  ආයතනයේ උසස් ම නිලධාරියකු නොවූවද, අනෙක් පුද්ගලයා ඇයට වඩා ඉහළ තනතුරක් දරයි.  
සිද්ධිය කෙටියෙන් මෙසේ ය; වැඩ කරන අංශයට පැමිණි ඇය, වැඩ ආරම්භ කරන්නට සැරසෙද්දී, ඉහත කී නිලධාරියා ඔහුගේ ජංගම දුරකථනයේ වූ කැමරාවෙන් අයගේ ඡායාරූපයක් ගන්නට යන බව ඇය දුටුවා ය. වහා ම මේ ගැන විරෝධය පළ කළ නමුත් ඔහු එය නතර කරන බවක් නොපෙනුනි.  වහා ම ක්‍රියාත්මක වූ මගේ මිතුරිය ඒ අවස්ථාවේ ම අංශ ප්‍රධානියා වෙත ගොස් මේ බව දැණුම් දුන්නා ය.  තමන් ට සිදු වු කරදරය ලිඛිත ව දැනුම් දෙන ලෙස ඔහුගෙන් උපදෙස් ලැබුණි. ඒ අනූව ඇය ඒ බව ලියා දුන්නා ය.  දැන් මේ සම්බන්ධ ව විනය පරීක්ෂණයකට මුහුණ දීමට ඉහත කී නිලධාරියාට සිදු වී ඇත.  
මේ ගැන ඇය සමඟ දැඩි ලෙස උරණ වී ඇති මෙ කී නිලධාරියා එම පරීක්ෂණය ඉල්ලා අස් කරවා ගැනීම සඳහා බලපෑම් කරවීමට දැන් දහ අතේ උත්සාහ කරයි.  ඒ සම්බන්ධයෙන් ඔහු මගෙන් ද උදව් ඉල්ලී ය. එහෙත් අදාල පරීක්ෂණයේ දී මිස මා වෙත ඔහුගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන්න ට තැත් කිරීමෙන් පලක් නැති බව පෙන්වා දෙමින් මට එය ප්‍රතික්ෂේප කරන්නට සිදු විය. 
මට හැඟෙන්නේ නිශ්චිත සිද්ධියට වඩා වැදගත් වන්නේ ඒ වටා ගොඩනැගෙමින් පවතින සිද්ධි සමුදාය බවයි.  දැන් ඉහත නිලධාරියා සිය නිර්දෝෂීභාවය තහවුරු කරගන්නට හැබෑ පරීක්ෂණයෙන් පිටත හැම ආකාරයකින් ම බලමුළු ගන්වමින් කාර්යාලය පුරා සැරිසරයි.  දැන් ඔහුගේ ප්‍රධාන රාජකාරිය වී ඇත්තේ එයයි.  ඉතින් මිතුරන් හමු වන ඔහු මෙසේ පවසයි.
“මචං, එදා මම ඉන්න කොට, මේකි මේ කොණ්ඩේ හද හද හිටියා.  ඉතින් මම විහිළුවට 4n එක පෙන්වලා, ඒකිට කිව්වා, දැන්නම් ලස්සනයි;කෝ බලන්න 4to එකක් ගන්න කියලා, විහිළුවට4n එක පෙන්නුවා.  මේකි මේ හොඳට බය වෙලා ඒක ලොක්කට කිව්වා.  මේකිට හොඳටම පිස්සු !”
කාර්යාලයේ බොහෝ කාන්තාවන් නිහඬ ය.  ඔවුන් ට ඒ හෝ මේ පැත්ත නොගෙන සිටීම වඩාත් හොඳ යයි සිතුනා සේ ය.  ඔවුන්ගේ අදහස එසේ  නැත්නම් තමනුත් මේවායේ ගොදුරක් වන බව ය !
බොහෝ පිරිමින් දක්වන්නේ, ඒඅතරින් එකෙකුගේ ශ්‍රී මුඛයෙන් පිටට පැන්න මේ අදහස ම ය.
“උඹට හොඳ වැඩේ. උඹ මහා බූරුවෙක්;පිස්සෙක්;උඹට හැම තිස්සෙ ම කියනවා උඹගේ තත්වෙට ගැලපෙන එවුන් ව විතරක් ආශ්‍රය කරපං කියලා. මේ කොහෙවත් නැති එවුන් ව උඹ, උඹේ කරට ගන්නවා.  බලපං; උඹේ තනතුර මොකක්ද ? උන්ගේ තනතුර මොකක්ද ? උඹට ගැලපෙනවද මුන් වගේ උන් ව ආශ්‍රය කරන්න? මුං ව හරි විදියට මේ ofc අස්සේ තියාගන්නත් සුදුසු නැහැ”
මේ කතාවෙන්, මේ අමනයා කියන්නේ කුමක්ද ? රැකියාවේ උස්-පහත් භේදයක් අවශ්‍ය ව තිබේ. ඒ තම අවශ්‍යතා ඉටු කරගැනීමට ‘පහළ‘ සේවක-සේවිකාවන් පාවිච්චි කරගැනීමට ‘ඉහළ‘ උන්ට හැකියාව ලැබෙනු පිණිස ය.  ඒ බව නොදන්නා පහළ උන් ට තමන් ‘පහළ‘ බව ඒත්තු යන පරිදි ඔවුන් පහළට ම දැමිය යුතුය.  සමහර මෝඩ පිරිමි පමණක් නොව, ඒවා පට්ට grt කර ගෙන ඉන්න කාන්තාවනුත් මේවා ඉස් මුදුනේ තියා ගෙන ඉන්නේ නූතන ඔළුගෙඩියක් ගෙලට ඉහළින් තබා පහළින්වත් නැති නිසා ය. සේවා තත්වයන් මත පමණක් නොව ජාතිය, ආගම, කුලය,ලිංගය ආදිය මත මේ වැනි අගතිගාමී ධූරාවලී ක්‍රමයක් තියා ගෙන ඉන්නා හනමිටි කාරයන් අදත් දකින්නට ලැබීම මොන තරම් අවාසනාවක් ද?  දැන් ඉතින් මේ අමන කතාවට ඉහත කී නිලධාරියා මෙසේ ප්‍රතිචාර දක්වයි;
“ඔව් බං, මගේ ‘මනුස්සකමට’ තමයි මම මුන් ව ආශ්‍රය කරේ.  උඹලා යන දේ දැන් තමයි මට තේරෙන්නේ.  මගේ ‘මනුස්සකම’ තමයි වැරැද්ද !”
 මේ චූදිත නිලධාරියාගේ පිටුපසින් ඇත්තේ ඛේදවාචකයක් බැවි මගේ අදහසයි.  මගේ මිතුරිය මෙන් ම මෙකී නිලධාරියා ද ‘ලිංගික කුහකත්වය’ නම් අමනුස්ස ක්‍රමයේ දෙපැත්තකින් ගොදුරු බවට පත් වූවෝ වෙති.  එහෙත්, මේවා නිවැරදි කිරීමට ඇති ලොකු ම බාධකයත්, ඒ ගොදුරු විසින් ම,  අමනුස්ස ක්‍රමය ම පෙරලා පෝෂණය කරන  බැවිනි.  මේ කියන නිලධාරියාගේ යහළුවන් මෙන්, ඉන් එහාටත් මේ වගේ අමනුස්ස යාන්ත්‍රණයන් හදා-වඩා-නඩත්තු කරන්නන් විසින් විසඳුම පේන තෙක් මානයෙන් ඔබ්බට ද තල්ලු කරනු ඇත.

‘ලස්සන’ දැකීමේ, අගය කිරීමේ හැකියාව ඇති සංස්කෘතියක් අපට ඇත්දැයි මට සැක සිතෙයි.  මේ සමාජයේ දී ‘ලස්සන’ යනු හොරෙන්, බලය යෙදීමෙන් ගසා කෑ යුත්තක් සේ ය.  ‘ලස්සන’ යනු අන් අයට නොපෙන්විය යුතු දෙයකි. ‘ලස්සන’ යනු හොර රහසේ බැලිය යුතු දෙයකි; තමන් එය රස විඳින බව ද හෙළිවුවහොත්, වහාම එයට ගරහා-පහර දී වනසා දැමීමෙන් ගැලවීම ලැබිය යුත්තකි.   මේඅපේ  ‘පොර’ වල් කියමින්-කරමින්සිටින දේ නොවේ ද? 
ඉතින් මේ සිද්ධියේ තවත් දිගුවක් ඇත.  
අර නිලධාරියාගේ වදෙන් බේරෙන්නට ඔහුගේ ඇතැම් මිතුරන් මගේ මිතුරියට බලපෑම් කරන්නට පටන් ගෙන ඇත.  ඇයගේ ද හිතවතුන් ලෙස පෙනි සිටිමින් මේ ඔවුන් ඉදිරිපත් කරන අදහසයි.
“අපි දන්නවා, මු කොහොමත් මෝඩයා. කිසිම මොළයක් නෑ. නැත්නම් තවත් ප්‍රශ්නයක් දා ගෙන තියෙන අස්සේ ඒ වගේ ම තවත් එකක් දා ගනීද ! වැරැද්දක් තමයි උ කරලා තියෙන්නේ.  ඒ  වුණාට ඉතින් මෙහෙමයි.  මූ ගැන මෙහෙම action එකකට ඔයාල යනවා කියන්නේ, ඒකෙන් සවුත්තු වෙන්නේ ඔයාල ම තමයි.  මේ මුළු ofc එක ම මේක දැනගන්නවා.  ඔයාල highlite වෙනවා වැඩියෙන්.  ඒකෙන් අරූට වඩා සවුත්තු වෙන්නේ ඔයාල ම තමයි” 
කාර්යාලයේ කාන්තාවන් ට මේ ලෙසින් ම කර ඇති තවත් හිරිහැරයන් කිහිපයක් ම ගැන මේ වන විටත් තවත් පැමිණිලි මේ නිලධාරියාට විරුද්ධ ව ලැබි තිබීම නිසා පරීත්ෂණයේ දී අනිවාර්යයෙන් ඔහුට අමාරු තත්වයක් ඇති වෙනු ඇති.  ඒත් මට අනූව මේ ප්‍රශ්නයේ මතු පිට පෙනෙන කොටස පමණක් බව ය.  ලොකු ම කොටස මේ වන විටත් කාර්යාලය තුළ, හිරිහැරයට ලක් වූ, ඒ ගැන පැමිණිලි කළ මගේ මිතුරිය ඉලක්ක කර ගත් අපහාස-අවලාද ව්‍යාපාරයක් ගෙන යන පිරිස ය;  මේ වැනි අවස්ථා ගැහැණුන් විසින්, නිහඬ ව, හොර රහසේ දරා ගත යුතු ය යන මතවාදය ය. මගේ මිතුරියගේ තනතුරේ ව්‍යුහගත වීම පෙන්වා කරනු ලබන පහර දීම් ය.  ඔවැනි සංස්කෘතියක් රකිමින් අපි අර වැනි එක් චූදිතයකු පමණක් දඬුවමට ලක් කිරීම, ඊට වඩා බරපතල ලෙස ඒ පීඩක යාන්ත්‍රණය පවත්වා ගෙන යන්නට දායක වන සියළුම දෙනාගේ නිදහස තහවුරු කර තිබීම යන තත්වයන් තුළ ඇත්තට ම වැඩකට ඇති යමක් වේ ද? 
එහෙත්, අවම වශයෙන් මම මෙහි දී අවමය වෙනුවෙන් වත් පෙනී සිටිමි.  ඒ එතැනින් නතර වනු සඳහා නොවේ. ඉන් එහාටත් යනු සඳහා ය; මේ ලියන්නේ ඒ වෙනුවෙනි.         

No comments:

Post a Comment