Friday, October 7, 2016

තිත්ත හිවල්ලු සහ රසවත් මිදි

"අරකි අඳින හැටි ! ෂික් කිසි ලැජ්ජාවක් නැහැ" 

"මේ වගේ වැඩ කරන තැනකට ගැලපෙනවද ඔහොම අඳින්න ?"
"යන විදිය ! හිතන් ඉන්නේ හරි ලස්සනයි කියල වෙන්න ඇති"
"හැටි විතරක් ! කොන්ඩේ නික්ම කොටම කොට බලු නැට්ටක් වගේ"
"බුරිය පේන්න අඳින්න පිරිමි අල්ලගන්න වෙන්න ඇති"  

මේ ආකාරයට ඈ බොහෝ සේ විවේචනයට ලක් විය. 

එහෙත්, ඈ ලස්සන ය; හැඩකාරය. ඇගේ සිහින් සිරුර, පළල් වූ උකුළ, කෙටි කොණ්ඩය, තද කළු පැහැති ඇස්, රත් පැහැ දෙතොල්, තළෙලු වටනුරු මුහුණ කාගේත් සිත් වසඟයට පත් කළේ ය.  ඉහළ ධූරයක් දැරූ ඇය බොහෝ විට එහි රාජකාරී සඳහා සිය නිල කාමරයේ රැඳී සිටියා ය.  රාජකාරී අවශ්‍යතාවයකට හෝ ඉඳ හිට ඇය සිය නිල කුටියෙන් බැහැර වන මොහොතක් වෙනුවෙන් ඒ අවට ‘රාජකාරී‘වල යෙදුනු පිරිමි කෙළ හලමින් සිටියේ ගොදුරක් ඩැහැගැනීමට මාන බලන වෘක රැළක් සිහි ගන්වමිනි.  ඇගේ හුරුබුහුටි ලාලිත්‍යයට සැඟවුණ දඟකාරකමක්  ඈ සතු විය.  එම දඟකාරකමට කවුරුත් පාහේ ආශා කළේ ය.  නමුත් කිසිවෙක් එය සෘජු ව ප්‍රකාශ නොකළේ ය.  ඈ කතා කරන විට බොබ් කට් කැපූ ඇගේ කෙටි කොණ්ඩය දෙපසට වැනෙන්නේ ය.  කතා කරන විට ඉරියව් රැසකින් මුහුණ හැඟීම්බර විය.  අනෙකුත් ගැහැණුන් මෙන් නොව ඇය සාරිය ඇන්දේ අමුතු විලාසිතාවකට ය.  ඇඟට හිර වෙන්නට ඇඳි සාරිය ඇගේ නාරි දේහයේ අලංකාරය තවත් වැඩි කළේ ය.  නාභිය ද සමඟින් වැඩි කොටසක් නිරාවරණය වූ ඇගේ බඩ දෙස බොහෝ පිරිමින් බැලුවේ කෑදර හොරැහිනි; බොහෝ ගැහැණුන් මවා ගත් පිළිකුල් ඇසකිනි.

අත්පත් කර ගත නොහැකි වූ ෆැන්ටසිය කොයි කවුරුත් පීඩනයට පත් කළේ ය.  එය ප්‍රකාශයට පත් වූයේ ඉහත ආකාරයෙනි.  පිරිමි බලා සිටියේ තව මදකින් හෝ ඇගේ සිරුර නිරාවරණය කර ගැනීමේ අපේක්ෂා දල්වා ගෙන ය; එක මොහොතක් හෝ ඈට හැකිතාක් කිට්ටු වෙන්නට මාන බලාගෙන ය.  ඒ අතරේ ම ඒ ‘රසය‘ තමන්ගේ සමීපතම සඟයා හෝ භුක්ති විඳීම ගැනනම් එකෙක්වත් පක්ෂ නොවීය.  තමන් සතු විය යුතු මේ අවධානය හා ආකර්ෂණය, විවිධ හේතු මත තමන්ට කරන්නට නොහැකි ‘මායමකින්‘  තමන්ගෙන් උදුරා ගන්නා ඇය ගැහැණුන්ගේ වෛරයට පාත්‍ර විය.  ඇය සතු ඉහළ ධූරය නොවන්නට මේ කොයි කවුරුත් එකතු වී මේ වන විටත් ඇය චප්ප කර දමන්නට නියමිත ව තිබුණි. 

ඉතින් ඍජු ව පහර ගසන්නට බැරි තැන මෙන්න මෙවැනි දැ සිදු වෙන්නට නියමිත ය ! 

දවසක් දා උදේ පාන්දරින්ම ආයතනය පුරා පැතිර ගිය කට කතාවකි.

"දවල් කාලේ රස්සාව මේක වුණාට රෑට මෙයා කරන්නේ ගණිකා වෘත්තිය ! රෑට ගෙන්වගන්න පිරිමි සමහර විට පිටත් වෙන්නේ උදේ..."

ඇය පදිංචිව සිටියේ උසස් නිලධාරීන් සඳහා ආයතනයෙන් දී ඇති නිවාස සංකීර්ණයේ එක් නිවාසයක ය.  මේ කතාව ගෙන ආවේ ‘ඇසින් දුටු සාක්ෂිකරුවෙකු‘ ලෙස පෙනී සිටි, එම සංකීර්ණයේ ම පදිංචි තවත් උසස් නිලධාරියකු විසිනි.  අනෙකුත් සියළු ම රාජකාරී කටයුතුවලට නැති තරම් වේගයකින් ද, අති මහත් උනන්දුවකින් ද උස්-පහත් වෙනසකින් තොරව කාර්ය මණ්ඩලය විසින් මෙම පුවත බෙදා ගන්නා ලද්දේ අසුචි ගොඩක් වටා සැරිසරන නිල මැස්සන් රැළකගේ උද්‍යෝගයෙනි !  නිවසට ගෙන්වා ගන්නා පිරිමින් සමඟ රෑ එළි වෙන තුරු ඇය කාමමිත්‍යාචාරයේ යෙදෙන අයුරු ගැන ‘රසවත්‘ කතන්දර හැම කෙනෙක් ම පාහේ බෙදා-හදා ගත්හ.  කතන්දරය ගෙන ආ නිලධාරියා කලක් තිස්සේ ඇය සම්බන්ධයෙන් ‘ලව්ගින්නකින්‘ පිළිස්සෙමින් සිටි බව, ලැව්ගින්නක් සේ මෙය පතුරුවා හැරි අය අමතක කර දැමූ හ; ඒ නිලධාරියා පවා එසේ කොට තිබුණි.

පුවත පැතිර ගිය වේගය අනුව එදින ම ඇයට ද මේ ගැන දැනගන්නට ලැබුණි.  ඇය උරණ වූවා ය; වහාම පොලීසියට ගොස් ඊට එරෙහි ව පැමිණිල්ලක් සටහන් කළා ය. 
මෙතැනින් එහා සිද්ධිය ගැන ද මා දන්නේ කටකතාකරුවන්ගේ පිහිටෙන් ම ය.  උස්-පහත් භේදයකින් තොර ව ආයතනයේ සේවක-සේවිකාවෝ එම කටයුත්තේ අනලස් ව තවදුරටත් යෙදුනේ මෙවැනි අදහස් පළ කරමිනි.

"පොලීසි ගියා ලු නේ ! බැනල එළවා ගත්ත ලු ! ඇත්තටම පොලීසිවලට වෙන වැඩක් නැතිවද !"
"ප්‍රශ්නයක් තිබුණානනම් මේවා ආයතනය ඇතුළෙ ම විසඳා ගන්න තිබුණ නේ"
"අර මනුස්සයා කියන්න ඇත්තේ ඇත්ත වෙන්න ඇති.  විලි ලැජ්ජාවක් නැතිව ඕවා පොලීසිවලට පැමිණිලි කරන්න යනවද වැදගත් ගෑනියෙක්නම්"
"ඔය කර ගත්තේ ගිහින්. හොඳ වැඩේ. ඔය ගෑනිට ඔහොමමයි වෙන්න ඕන"

ඇත්තට ම සිදු වූයේ කුමක්දැයි මම නොදන්නෙමි.  ඒ වැනි දේවල ඇත්ත දැන ගැනීමට වඩා අපේ සමාජය තුළ ඇත්තේ අති දැවැන්ත ඕපාදූප තොරණකින් ඇස් නිලංකාර කරගැනීමේ ඉඩකි.  ඒ තවත් ප්‍රශ්නයකි. එය මෙහි දී සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකරමි.  කටකතාවේ සඳහන් ‘චෝදනාවට‘ ඇයගේ සම්බන්ධය කුමක් වුව ද, එමගින් තමන්ට අත් වන අපහසුතාවය සම්බන්ධයෙන් ප්‍රතිකර්ම අපේක්ෂාවෙන් ගිය තැන යුක්තිය වෙනුවට ඉටු වන්නේ මෙවැනි ‘රාජකාරියක්‘ නම් ඒ තවත් කතාවකි.  එය ද මෙහි සාකච්ඡා කිරීමට අපේක්ෂා නොකරමි.  මගේ කාර්යාලයීය සඟයන්- ලොක්කන්-සොක්කන්, පිරිමින්-ගැහැණුන් සියළු දෙනාගේ ම ප්‍රතිචාරය මා තුළනම් මතු කළේ මහත් පිළිකුලකි; කම්පනයකි.  ඒත් එක අතකට එසේ විය යුතු ද නැත.  මේ අතිශය සාමාන්‍යයයි.  ලංකා පොලෙවේ අතිශය සාමාන්‍ය යථාර්තය මෙයයි. එහෙත් එය ම කම්පාවට හේතුවක් විය නොයුතු ද ?

ඈ සමඟ යහන් ගත වීමට පෙරුම් පුරමින් බලා සිටි, එහෙත් ඒ පාරමිතා පාරාජිකා වූ කල ඒ දැඩිතර ආශාව, ඉරිසියාවක් හා වෛරයක් බවට පෙරලාගෙන ඇගෙන් පලිගන්නට මාන බැලූ පිරිමින් ද, ඇය නිසා අහිමි වන තමන්ගේ ‘තැන‘ ගැන දැඩි හීනමානයකින් පෙලුන ගැහැණුන්ද ඇය කෙරෙහි දැඩි වෛරයකින් දැන් පසු වන්නේ කුහකත්වයේ නිරුවත ප්‍රදර්ශනය කරවමිනි. 

ඊයේත්, අදත්, හෙටත් මේ සමාජය ඈට දැඩි ලෙස වෛර කරනු ඇත.  ඒ මේ සමාජය හැම අතින්ම අසමත්- ඒ අසමත්බව පිළිගන්නට පවා අසමත් සමාජයක් නිසා යයි මට දැනෙයි.  ඇතැම් විට ඒ අසමත්භාවයන් අපේ උන්දැලාට ‘මාර දේවල්‘ වේ. එ විට පිස්සු ෂෝක් ය !  අසමත්භාවයන් පිටාර ගලන්නේ වෛරී ප්‍රචණ්ඩත්වයකිනි.  මේ සමාජය අස්සේ ඒ ගොන් පාර්ට් එකත් මාර ‘පිරිමිකම‘කි !

ඉතින් මෙහි දී ‘මිදි‘ වැනි භාණ්ඩ බවට පත් කර ගත් ගැහැනුන් ‘රකින-‍කෙලසන‘ වගකීම් දරණ, මනුෂ්‍යයන් වෙනුවට හිවලුන් බවට පත් වුණ පිරිමින්ගෙන් යුත්,  'එය එසේ විය යුත්තක්' බව අදහන ගැහැණුන්ගෙන් ද යුත්, අඩු දියුණු ප්‍රාග්ධනයකින් මෙහෙයවෙන මේ වැනි සමාජයන් සමාන කළ හැක්කේ මිදි තිත්ත යැයි කියන හිවලුන්ගේ සමාජයකට නොවේ ද?